ඇඳිරි නීතියට අමතරව ස්වයං විනයක්ද අවශ්‍යයයි; ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර

 ඇඳිරි නීතියට අමතරව ස්වයං විනයක්ද අවශ්‍යයයි; ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උපකුලපති  මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර
මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර

සාමාන්‍යයෙන්, අපේ ගම්වල තරුණ උදවිය යතුරුපැදියක ටවුමට යද්දී හෙල්මටය අතේ ගෙනයාම පුරුද්දක් කරගෙන සිටිති. ගමේ අතුරු පාරෙන් නගරයේ ප‍්‍රධාන පාරට පිවිසෙන විට ඔවුහු හිස්වැස්ම පැළඳ ගනිති. ඉන් කියැවෙන්නේ, සමහර තරුණ උදවිය මෝටර් සයිකලය පදිද්දී හෙල්මටය පළඳින්නේ පොලිස් නිලධාරීන්ගෙන් බේරීමට විනා තමන්ගේ ඔලූ කට්ට ආරක්‍ෂා කරගැනීමට නොවන බවය. මේ කාරණය මේ මොහොතේ අපගේ මතකයට නැගුණේ, මේ දිනවල ඇඳිරි නීතිය ලිහිල් කළ විට ටවුමට යන ඇතැම් උදවිය ඒ හා සමාන ආකාරයට හැසිරෙන නිසාය. අද බොහෝ දෙනෙක් ටවුමට යද්දී මුඛ ආවරණය (මාස්ක් එක) අතේ රැගෙන හෝ බෑගයක දමාගෙන ගොස්, පොලිස් නිලධාරියෙකු හෝ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයෙකු දුටු විට කඩිමුඩියේ පැළඳ ගනිති. ඉන් කියැවෙන්නේ, අද බොහෝ දෙනෙකු මාස්ක් පළඳින්නේ පොලිස් නිලධාරීන්ගෙන් බේරීමට විනා කොවිඞ්-19 වෛරසයෙන් ආරක්‍ෂා කරගැනීමට නොවන බවය. කොවිඞ්-19 වෛරසය බෝවන්නේ පොලිස් නිලධාරීන්ගෙන් සහ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගෙන් යැයි ඔවුන් සිතා සිටිනවා වත්ද?

නිසිලෙස මුවවැස්ම පැළඳීම ඔබේ වගකීමකි.


අපගේ අදහස අනුව නම්, අප අතරින් ඇතමෙකු කොරෝනා වසංගතයේ සැබෑ ස්වරූපය තවමත් හරිහැටි තේරුම් ගන නැත්තේය. කොවිඞ්-19 වෛරසය හඳුනා ගෙන තවම ගතවී ඇත්තේ මාස හතරක් තරම් වූ කෙටි කාලයක් වන අතර, ඒ පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණ තවම පවතින්නේ මූලික මට්ටමේය. කොවිඞ්-19 හෙවත් නව කොරෝනා වෛරසයේ ප‍්‍රභේද තුනක් ඇති බවත්, ඒ අතරින් ශ්‍රී ලංකාවේ පැතිරෙන්නේ A ප‍්‍රභේදය බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ අංශයේ විද්‍යාඥයෝ පවසති. මෙම A ප‍්‍රභේදය ශ්‍රී ලංකාව, ඇමෙරිකා එක්සත් ජනපදය වැනි රටවලත්, B ප‍්‍රභේදය චීනය සහ කොරියාව වැනි රටවලත්, C ප‍්‍රභේදය යුරෝපීය රටවලත් පැතිර ඇති බව මේ වන විට කෙරී ඇති පරීක්‍ෂණවලිින් තහවුරු කරගෙන ඇත්තේය. වෛරසය සඳහා ප‍්‍රතිකාර සොයා ගැනීමේදී අදාළ ප‍්‍රභේදය නිවැරදිව හඳුනා ගැනීම වැදගත් වන්නේය. මීට අමතරව, මෙම වසංගතයේ ව්‍යාප්තිය රැළි වශයෙන් සිදුවිය හැකි බවත්, දෙවෙනි රැල්ල පළමු වතාවට වඩා දෙතුන් ගුණයකින් භයානක විය හැකි බවත් වාර්තා වන්නේය.
කොරෝනා වසංගතයේ ඇති භයානකකම පිළිබඳව, ඉතාලි වෛද්‍යවරයෙකු කරන ලද ප‍්‍රකාශයක් මේ දිනවල සමාජ මාධ්‍යවල සංසරණය වන අතර, ඉන් කියැවෙන්නේ, ඔබ කොවිඞ්-19 වෛරසයේ භයංකර බව හරිහැටි තේරුම් ගහතොත් අඩුම තරමින් ජනේලයෙන් හෝ හිස එළියට නොදමන බවයි. එමෙන්ම, සෞඛ්‍ය බලධාරීන් කෙතරම් පුන පුනා කීවද, ඇතැම් උදවිය තේරුම් නොගන්නා සරළ සත්‍යයයක් ඇත්තේය. එනම්, අප නිවසින් එළියට ගොස්, නගරයට හෝ සමාජයට ගොස්, කොවිඞ්-19 වෛරසය කැඳවාගෙන පැමිණියේ නැතිනම් වෛරසය බලාත්කාරයෙන් අපේ නිවසට ඇතුළු නොවන බවයි. ඒ සඳහා වඩාත් සුදුසු පිළියම වන්නේ, හැකිතාක් නිවසට වී අතේ දුරින් සිටීමයි. අපේ ගැමි බසින් කියතොත්, ”අහක යන නයි රෙද්ද අස්සේ දා නොගැනීමට” අප වගබලාගත යුතුය.
එසේ නොමැතිව, තවදුරටත් වෛරසය පැතිරීමට අප දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ සහාය දුනහොත් වෛරස ව්‍යාප්තියේ මීළඟ අදියරට, එනම් සමාජය (ප‍්‍රජාව) තුළ සීඝ‍්‍රයෙන් පැතිරීමේ තත්ත්වයට පිවිසෙනු නොඅනුමානය. එසේ වුවහොත්, අපේ රෝහල්වලට දැරිය හැකි උපරිම ධාරිතාව ඉක්මවා යෑමට ඉඩ ඇති අතර, එවිට අපේ වෛද්‍යවරුන්ට, හෙදියන්ට, අනෙකුත් කාර්ය මණ්ඩලයට තත්ත්වය පාලනය කරගැනීම අසීරු වනු ඇත්තේය. එසේ වුවහොත්, වැඩි දිනක් ගතවීමට මත්තෙන් අපේ රටද, මීට සති කිහිපයකට කලියෙන් ඉතාලියේ පැවති තත්ත්වයට පත්වීමට ඉඩ ඇත්තේය. එසේ වුවහොත්, වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා නිවැරදිව අවධාරණය කරන පරිදි, අපට කොරෝනාවෙන් බේරී සැඟවීමට තැනක් සොයාගැනීමට නොහැකි වනු ඇත්තේය. මෙය හුදෙක් අසුභවාදී, අඳුරු චිත‍්‍රයක් මවාපාමින් කරනා බොරු බියගැන්වීමක් නොව, ඇතිවිය හැකි භයානක තත්ත්වය පිළිබඳව කෙරෙන පූර්ව අනතුරු ඇඟවීමක් පමණක්ම වන්නේය.
වර්තමාන වසංගත තත්ත්වය යටතේ රජය විසින් පනවනු ලබන ඇඳිරි නීතියට අමතරව, අප එකිනෙකා විසින් එක්තරා ආකාරයක ස්වයං විනයක්ද පවත්වා ගතයුතු යැයි අප අවධාරණය කරන්නේ ඒ නිසාය.

ඉතාලිය වෛරසයෙන් දැඩිව බැටකෑමට නොසළකා හැරීමද හේතු විය

‘ස්වයං විනය’ සහ ‘ස්වයං පාලනය’ යන සංකල්ප අන්‍යෝන්‍ය වශයෙන් යොදාගනු ලබන අතර, ඉන් අදහස් කෙරෙන්නේ තමන්ට තමන්ව පාලනය කරගැනීමට ඇති හැකියාවයි. ඒ සඳහා ඇති ශක්තියයි. මෙම වසංගත තත්ත්වය හමුවේ, සෞඛ්‍ය උපදෙස්වලට ගැලපෙන ස්වයං නීතිරීති මාලාවක් පවත්වාගෙන යාම ඉතා වැදගත් වන්නේය. මේ අවස්ථාවේදී සෞඛ්‍ය බලධාරීන් ලබාදෙන උපදෙස් අප විසින් අකුරටම පළිපැදිය යුතු වන්නේ අපේම යහපතට බව තේරුම් ගත යුතුය. කොරෝනා ආසාධිතයෙකු බවට පත්වීමෙන් වැලකීම සඳහා හැකි උපරිම උත්සාහයක් දැරිය යුත්තේ අපේම යහපතට බව තේරුම් ගත යුතුය. මේ අවස්ථාවේදී, ස්වයං පාලනයක්, ස්වයං විනයක් අවශ්‍ය වන්නේ යැයි අපේම යහපතට බව තේරුම් ගත යුතුය.
මෙවන් වසංගතයක් හමුවේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස සහ විනයානුකූල හැසිරීම අතර ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතාවයද අප තේරුම් ගත යුතුය. නීතියට ගරුකරන සහ විනයානුකූලව හැසිරෙන සිවිල් පුරවැසියන්ගෙන් තොරව ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් ගොඩනැගිය නොහැකි බව අප තේරුම් ගත යුතුය. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුර දේවතාවුන් යැයි කියාගන්නා සමහර රටවල ජනතාව, කොරෝනා වසංගතය මැඩලීම උදෙසා පනවා ඇති සංචරණ සීමාවන්ට එරෙහිව වීදි බසිනා ආකාරය පුදුමය දනවන සුලූය; අතිශය කනගාටුදායකය. තවත් පැත්තකින්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස පිළිබඳව ඔවුන් තුළ පවත්නා පටු ආකල්ප මේ හරහා මොනවට පැහැදිලි වන්නේය. යුදමය වාතාවරණයකට සමාන වන මෙබඳු වසංගත තත්ත්වයන් හමුවේ විවිධ සීමාවන් පැනවීමට බලධාරීන්ට සිදුවන අතර, ඒවාට අනුගතවීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන, ස්වයං විනයක් සහිත ජනතාවගේ යුතුකමක් වන්නේය. නවසීලන්තය, වියට්නාමය වැනි රටවල් මේ වන විට (මෙම ලිපිය ලියන මොහොත වන විට), කොවිඞ්-19 වෛරසයේ ව්‍යාප්තිය පාලනයේදී යම් සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇත්තේ, ඒ රටවල ජනතාව ස්වයං විනයක් සහිතව සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම නිසාය.

මහජන සහය යනු විනයයි


කෙසේ වුවද, දියුණු යැයි සම්මත සමහර රටවල් හා සසඳන විට අප රටේ බහුතරයකගේ හැසිරීම සතුටුදායක වන්නේය. කොවිඞ්-19 වෛරසය පැතිරීම මේතාක් දුරකට හෝ පාලනය කිරීමට සෞඛ්‍ය බලධාරීන් සමත්ව සිටින්නේ බහුතර ජනතාවගෙන් ලැබෙන සහයෝගය නිසාය. එහෙත් කනගාටුවට හේතු වන්නේ, ඉහත කී පරිදි, කොරෝනා වසංගතයේ ඇති භයානකකම සුළු පිරිසකට තවමත් හරිහැටි අවබෝධ වී නොතිබීමය. නැතිනම්, වත්මන් තත්ත්වයේ බැරෑරුම්කම පිළිගැනීමට සූදානමක් නොමැතිවීමය. කනගාටුවට හේතු වන්නේ, සුළු පිරිසක් කිසිදු විනයක් නැති වගකීම් විරහිත පුද්ගලයන් ලෙස හැසිරීමය. මේ වන විට, ඇඳිරි නීති කඩකිරීම් හේතුවෙන් අත්අඩංගුවට පත්වූ සංඛ්‍යාව 40,000 ඉක්මවා ඇත්තේ ඒ නිසාය. එපමණක් නොව, සමහර ප‍්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත් කළ විගස, සමහර උදවිය ලැබුණු අවස්ථාවෙන් විනෝදයක් ලබාගැනීමට (ෆන් එකක් ගැනීමට) උත්සාහ කිරීමද අතිශය කනගාටුදායකය.
රජය විසින් පනවා ඇති ඇඳිරි නීතියට අමතරව අප විසින්ම එක්තරා ආකාරයක ස්වයං විනයක්, ස්වයං පාලනයක් පවත්වා ගතයුතු යැයි අප අවධාරණය කරන්නේ ඒ නිසාය. එහෙත්, ස්වයං විනයකට අනුගතවීමට, ස්වයං පාලනයකට යටත්වීමට අප තුළ ශක්තියක් තිබිය යුතුය. කැපවීමක් තිබිය යුතුය. කොරෝනා වසංගතයෙන් තවදුරටත් බැට නොකා බේරීමට නම් අප සැවොම ඒ සඳහා කැපවිය යුතුමය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *