ඇන්. ඇම්. ගේ මග ගනිමින් කොවිඩ් රෝගීන්ට සරණ වූ පොදු ජනතාවගේ හාමුදුරුවෝ

මෙම ලිපිය ලියූ මාධ්‍යවේදී – සමන් සී. ලියනගේ, ල.ස. ස. ප. මධ්‍යම කාරකසභිකයෙකු වන අතර ආචාර්ය බද්දේගම සමිත හිමියන්ගේ හිටපු පෞද්ගලික ලේකම් වරයාද වේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ලංකා සමසමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික ආචාර්ය පූජ්‍ය බද්දේගම සමිත ස්වාමීන් වහන්සේ පසුගිය මැයි 30 දින පෙරවරුවේ අපවත්වී වදාලහ. අපවත් වන විට උන් වහන්සේ 69 වැනි වියේ පසු වූහ. උන්  වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන කටයුතු එදිනම බද්දේගම ආදාහනාගාරයේදී සිදු කෙරුණු අතර ආගමික කටයුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් බද්දේගම නගරශාලාවේ පවත්වන ලදි. එම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු කතෝලික පියතුමන්ලා සහභාගීව සිටිහය. සමිත හිමියන්ගේ අභාවය සැළවූ සැනින් බද්දේගම ඇතුළු ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව සිය නිවෙස් ඉදිරිපිට කහ කොඩි ඔසවා, බැනර් ප්‍රදර්ශනය කර ශෝකය පළකර තිබිණ. දිස්ත්‍රික්කයේ පන්සල්, පල්ලි, කොවිල් ඇතුළු  ආගමික ස්ථාන වල ද  උන් වහන්සේගේ හදිසි නික්මයාම ගැන මේ ආකාරයෙන්ම ශෝකය ප්‍රතාශ කර තිබූ අතර මුස්ලිම් ජනතාව මේ බෞද්ධ භික්ෂුව වෙනුවෙන් සිය පල්ලි ඉදිරිපිට කහ කොඩි ඔසවා ශෝකය ප්‍රකාශ කිරීම කැපී පෙණුන සිද්ධියක් ද විය.

 

ආචාර්ය බද්දේගම සමිත හිමියෝ පළමු රැල්ලේ පටන්  වර්තමානය දක්වා කොවිඩ් වසංගතයට එරෙහිව පොදු ජනතාව සමග සිට ගත්තේ මෙතෙක් ජනතාවට බලපෑ හැම ව්‍යසනයකදීම, හැම පොදු ජන  සටනකදීම සිටගත් ශක්තියෙන් සහ ධෛර්යයෙන් යුතුවය. වසංගතය ව්‍යාප්තවීම වැලැක්වීම සඳහා මිනිසුන් දැනුවත් කරන්නට මහමගට බැස්සේද, නිවෙස් තුළ කොටුවුණු පිරිස් සොයා ගොස් ඔවුන්ට ආහාරපාන, ඛෙහෙත්හේත් ලබා දුන්නේද, වසංගතය වැලඳුණු පිරිස් අමතා ඔවුන් ධෛර්යමත් කළේද අවසන  කොවිඩ් වසංගතයෙන් මිය ගිය රෝගීන්ගේ නිවෙස් වෙත වැඩම කොට පාංශකූල වතාවත් සිදුකළේ ද එය තමන් වහන්සේගේ අතින් ඉටුවිය යුතු පැහැර හැරිය නොහැකි සමාජ වගකීමක් සහ යුතුකමක් ලෙස සළකමිනි.

30 දශකයේ මුල් භාගයේ මැලේරියා වසංගතයෙන් රටේ බොහෝ ප්‍රදේශ ආතුර කරවා, රට වැසියෙකුගේ ආයු අපේක්ෂාව අවුරුදු 35 බවට පත් කරද්දී ඔවුන්ට ඖෂධ ද, පරිප්පු ද ඇතුළු ආහාරපාන රැගෙන “සූරියමල් ව්‍යාපාරය˜ සමග තුන්කොරළය පුරා දොරින් දොර ගිය ලංකා සමසමාජ පක්ෂයේ අතීත නායකයින්ගේ මග ගනිමින්, වර්තමානයේ ලාංකීය සමාජයට මුහුණ දෙන්නට සිදුව තිඛෙන කොවිඩ්  ව්‍යසනයෙන් රටවැසියා  ගලවා ගන්නට ක්‍රියාකළ මේ පොදු ජනතාවගේ හාමුදුරුවන්ට සිය නෙත් පහන් නිවාලන්නට සිදුවන්නේ ඒ වසංගතයේම ගොදුරක් බවට පත්වෙමිනි.

බද්දේගම සමිත හිමියන් උපත ලැබුවේ 1952 වසරේ සැප්තැම්බර් මස 14 දා ගාල්ලේ,  උළුවිටික ප්‍රදේශයේ ඕපාත ග්‍රාමයේ පිහිටි සිය මෑණියන්ගේ නිවසේය. හැරල්ඩ් ත්‍රීමාවිතාන උන්වහන්සේගේ ගිහිකළ නම විය. මව ගම්මැද්දෙගොඩ ලියනගේ ලිලී ය. පියා කොරනේලිස් ඩයස් ත්‍රීමාවිතානය, එක් සහෝදරියක සහ සහෝදරයින් හය දෙනෙකු ගෙන් යුත් පවුලේ තෙවැන්නා වූයේ සමිත හිමියන්ය. ගොවිතැන පවුලේ ආර්ථික මාර්ගය විය.

සමිත හිමියන් කුඩා අවදියේදීම දෙමාපියන් සිය දරුවන් සමග ඕපාත ගමේ පදිංචිය වෙනස්කොට ඊට සැතැපුම් දහයක් පමණ දුරින් පිහිටි බද්දේගම බොරළුකඩ කහවෙවිතාන ගෙදරට පදිංචියට යන්නේ එය පිය පාර්ශවයේ මහ ගෙදර වූ බැවිනි.

සමිත හිමියන්ගේ පාසල් අධ්‍යාපනය ඇරඹෙන්නේ එහිදීය. නිවසේ සිට සැතපුම් දෙකක් පමණ දුරින් වූ, පසු කලෙක උන් වහන්සේගේ ප්‍රවෘජාභූමිය වූ හැඩිදෙමළා කන්ද පන්සල පාමුලේ පිහිටි ගනේගම බෞද්ධ මිශ්‍ර පාඨශාලාව (වර්තමාන රතනසාර මහා විද්‍යාලය) සමිත හිමියන්ගේ පළමුවැනි විද්‍යස්ථානය විය.

බද්දේගම සමිත හිමියන් පැවිදි දිවියට ඇතුළත් වූයේ 1965 වසරේ ජුනි මස 24 වැනිදාය. ඒ බද්දේගම, ගණේගම ඓතිහාසික හැඩිදෙමළා කන්ද පුරාණ රාජමහා විහාර පුණ්‍ය භූමියේ දීය.( වත්මන් දුටුගැමුණු රජ මහා විහාරය) ඒ වන විට උන් වහන්සේ දහතුන් හැවිරිදි වියේ පසු විය.

හැඩිදෙමළාකන්ද දුටුගැමුණු රාජමහා විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ විසූ රාජකීය පණ්ඩිත ගණේගම ශ්‍රී සරණංකර නාහිමිපාණන් වහන්සේ (1908-1989) සමිත හිමියන්ගේ ආචාර්යවරයාණන් වහන්සේ වූහ.

බද්දේගම රතනසාර පිරිවෙන සමිත හිමියන්ගේ දෙවැනි විද්‍යස්ථානය විය. එහි ත්‍රිපිටක ධර්මය ඇතුළු මූලික පිරිවෙන් අධ්‍යාපනය උගත්දීම විහාරස්ථානයේ දී සිය ගුරු හිමියන් සතු විශ්ව විද්‍යාලයක් බඳු පොත් ගුලට පිවිස උන්වහන්සේ විසින් විරචිත “බුදු හාමුදුරුවෝ ˜ —ආනන්ද හාමුදුරුවෝ˜ වැනි මහානර්ඝ කෘතීන් ඇතුළු විවිධ විෂයයන් යටතේ ලියැවූණු පතපොත  ඇසුරු කිරීමෙන් මහා දැනුම් සම්භාරයක් ල`ගා කරගත්තේය.

උන් වහන්සේ සාම්ප්‍රදායික බෞද්ධ ආගමික භික්ෂූන් වහන්සේ නමකගේ කටයුතු ඉක්මවමින් සමාජ සේවය පිණිස සමාජයට වැඩම කළේ පිරිවෙන් සිසුවෙකුව සිටි අවදියේ පටන්ය.

සමිත හිමියෝ මාක්ස්වාදී දේශපාලන දර්ශනයට ආසක්ත වන්නේ එවකට ලංකා සමසමාජ පක්ෂයේ බද්දේගම නියමුවා වූ නීල් ද අල්විස් හා සබඳතා ගොඩනගා ගැනීමෙනි. එකළ එතුමන්ගේ පුද්ගලික ලේකම් පියදාස රත්නපාල, සමසමාජ තරුණ සම්මේලනයේ සභාපති වාසුදේව නානායක්කාර, වික්‍රමබාහු කරුණාරත්න වැන්නන් මේ තරුණ රැඩිකල් භික්ෂූන් වහන්සේගේ සමීපතමයින් විය.

උන් වහන්සේ මාක්ස්වාදී දේශපාලනය හදාරන ලද්දේ සමසමාජ දේශපාලන අධ්‍යාපන කඳවුරුවලිනි. මෙකල මේ කඳවුරු මෙහෙයවන ලද්දේ ඔස්මන්ඩ් ජයරත්න, ඊ. කරාලසිංහම්, සිඩ්නි වනසිංහ, රෙජිනෝල්ඩ් මෙන්ඩිස්, බැටී වීරකෝන් වැනි පසු කලෙක ලංකාවේ වමේ ව්‍යාපාරයේ නියමුවන් වූ විද්වතුන් විසිනි.

1975 වසරේ ලංකා සමසමාජ පක්ෂය එවක රාජ්‍ය බලය හෙබවූ සමගි පෙරමුණු ආණ්ඩුවෙන් ඉවත් වූ පසු ඇන්. ඇම්. පෙරේරා, කොල්වින් ආර් ද සිල්වා, ලෙස්ලි ගුණවර්ධන, විවියන් ගුණවර්ධන, බර්නාඩ් සොයිසා වැනි ලංකාවේ වමේ ව්‍යාපාරයේ ආරම්භක නායකයින් සහභාගී වූ “රතු නායකයින් පිළි ගනිමු ˜ මැයෙන් රට පුරා පැවැති සමසමාජ රැස්වීම් මාලාවේ  ප්‍රධාන කථීකයෙකු වූයේ බද්දේගම සමිත හිමියන්ය.

සමිත හිමියන් විද්‍යලංකාර විශ්ව විද්‍යාලයට ඇතුලූ වන්නේ 1976 වසරේ දීය.

1977 වසරේ පැවැති මහ මැතිවරණයේ දී උන් වහන්සේ වාමාංශික එක්සත් පෙරමුණේ අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය වෙනුවෙන් දේශපාලන වේදිකාවට ගොඩවන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක් ලෙසින් ලංකා සමසමාජ පක්ෂයට සම්බන්ධ ලංකා ශිෂ්‍ය සම්මේලනය නියෝජනය කරමිනි.

1977 දී බලයට පැමිණි ආණ්ඩුවේ අනුග්‍රහය ලැබු මැරපිරිස් ආණ්ඩු විරෝධී ශිෂ්‍ය කණ්ඩායම් මර්ධනය පිණිස විශ්ව විද්‍යාල තුළට කඩා වැදීම සාමාන්‍ය තත්ත්වයක්ව තිබිණි. කැළණිය විශ්ව විද්‍යාලයේ සිසුන්ටද නිතර නිතර මැර ප්‍රහාරයන්ට මුහුණ දෙන්නට සිදුව තිබූ අතර එක් දිනක් අනපේක්ෂිතව සිදුවූ එවැන්නකට සිසුන් මුහුණ දුන්නේ මැරයින්ට ප්‍රති ප්‍රහාර එල්ල කරමිනි. එහිදී ක්‍රිස්ටෝපර් ජයතිලක නැමති මැරනායකයා ජීවිතක්ෂයට පත්විය.

සිද්ධියෙන් කිපුණු ආණ්ඩුව වහා පොලීසිය යොදවා සමිත හිමි අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළේය. “සමිත භික්ෂුව සොයා බද්දේගම කැලෑ පීරයි˜ මේ දිනයක  දිනමිණ පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨය විය. මේ වනවිට සමසමාජ නායකයෝ සමිත හිමියන් බණ්ඩාරගම ප්‍රදේශයේ රහසිගත ස්ථානයක සඟවාගෙන සිටියේ සුදුසු වේලාව බලා අධිකරණයට ඉදිරිපත් කිරීමටය.

කොල්වින් ආර් ද සිල්වා සහ බැටී වීරකෝන් ප්‍රමුඛ නීතිඥයින් පිරිසක් සමග සමිත හිමියෝ අධිකරණයට ඉදිරිපත් විය. උන් වහන්සේට මාස හයකට අධික කාලයක් බෝගම්බර සිර ගෙදර තපින්නට සිදුවිය. උන්වහන්සේට එරෙහිව ගොණුකොට තිබූ නඩුව මෙහෙයවන ලද්දේ කොල්වින් ආර් ද සිල්වාය. නඩුවෙන් සමිත හිමියෝ නිදොස් කොට නිදහස් කරන ලදි. එහෙත් ඒ වන විට උන් වහන්සේගේ ශිෂ්‍ය භාවය අහිමි කරන්නට පාලකයෝ කටයුතු කර තිබිණ. එපමණකින් නොනැවතුන එවක රජය සමසමාජ පක්ෂයේ මැදිහත් වීමෙන් රුසියාවේ ලූමුම්බා විශ්ව විද්‍යාලයට ඇතුළු වන්නට ලබාදී තිබූ අවස්ථාවද අහිමි කරන්නට කටයුතු කළේය.

බද්දේගම සමිත හිමියෝ එංගලන්තයේ ලැන්කැස්ටර් විශ්ව විද්‍යාලයට ඇතුළත්ව සිය අධ්‍යයන කටයුතු කරගෙන යන්නේ ඉන් පසුවය. තුලනාත්මක ආගම් සහ තුන්වන ලෝකයේ සංවර්ධනය පිළිබඳ ආචාර්ය උපාධිය ලබන සමිත හිමියෝ යළි මෙරටට වැඩම වන්නේ රට භිම භිෂණයක ගිලී තිබූ 1988 වසරේ දීය.

මහමග තරුණ සිරුරු පිළිස්සුණු මේ යුගයේ තරුණ ජීවිත බේරා ගැනීම උන්වහන්සේගේ ප්‍රමුඛ සමාජ කාර්යය බවට පත් වන්නේය. සිවුරු පොට කරකවමින් ආයුධ සන්නද්ධ ආණ්ඩුවේ නිල නොනිල හමුදා ඉදිරියට වැඩම කළ උන්වහන්සේ ඔවුන් සමග නොබියව තර්ක කොට බේරාගත් තරුණයින් ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා විදේශ රටවලට යවන්නටද උන්වහන්සේ මැදිහත් වූහ.

සමිත හිමියෝ පළමුවෙන්ම මැතිවරණයකට ඉදිරිපත් වන්නේ 1991 වසරේය. ඒ බද්දේගම ප්‍රාදේශීය සභාවට තේරී පත්වන්නටය. එහි අසුන් දෙකක් දිනාගන්නට සමත් වන්නේ උන් වහන්සේ කෙරෙහි ජනතාව තබා තිබූ විශ්වාසය හේතු වෙන්ය.  සමිත හිමියන් සමග එම සභාවේ අසුන් ගත් අනෙක් නියෝජිතයා වූයේ ප්‍රකට ගොවි නායකයෙකු වූ ඩී.යූ. ජයසේකරගේ පුත් අරුණ ජයසේකරය.

සමිත හිමියෝ පළමු පළාත් සභාව ජය ගන්නේ 1999 වසරේ ය. ඉන් පසුව 2001 වසරේ පැවැති මහ මැතිවරණයෙන් ජය ගන්නා උන්වහන්සේ පාර්ලිමේන්තුවට වැඩමවන්නේ මහජන ඡන්දයකින් ව්‍යවස්ථාදායකයට තේරී පත්වූ පළමු බෞද්ධ භික්ෂූන් වහන්සේ ලෙස දේශපාලන ඉතිහාසයේ අලූත් සළකුණක් තබමිනි.

බද්දේගම සමිත හිමියන්ගේ පාර්ලිමේන්තු ආගමනය විවාදාපන්න සිදුවීමක් විය. එය සංඝ සමාජය ඇතුළු විවිධ පාර්ශවවල විවිධ තර්ක විතර්කයන්ට හේතු පාදක වූවක් විය.

බද්දේගම සමිත හිමියන් බෞද්ධ දර්ශනයත් මාක්ස්වාදී දර්ශනයත් මැනවින් අධ්‍යයනය කර තිබීම  උන් වහන්සේගේ දේශපාලන භාවිතය තුළ මැනවින් ප්‍රකට වූ ලක්ෂණයකි.

සමානාත්මතාව වෙනුවෙන් පෙනී සිටි උන් වහන්සේ ජාතීන් අතර සහජීවනය, ආගම් අතර සංහිඳියාව යථාර්තයක් බවට පත් කරන්නට හැම තීරණාත්මක කාල වකවානුවකදීම නොබියව පෙනී සිටියේය. උන් වහන්සේට පක්ෂය ප්‍රමුඛ වූයේ මැතිවරණයකදී පමණි. මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ජනතා සේවයේදී හැමවිටම නිර්පාක්ෂිකව කටයුතු කළේය. පළාත් සභාවේ හෝ පාර්ලිමේන්තුවේ නිරර්ථක සංවාදවල නියැලූනේ නැත. හැම විටම ජනතාවාදී අර්ථවත් සංවාදයක් ගොඩ නගන්නට ක්‍රියා කළේය.

සමිත හිමියන් තුළ පැවැති මානව දයාව  ප්‍රකට කළ තැන් උන් වහන්සේගේ දිවියේ අපමණය. 2004 වසරේ හික්කඩුව තෙල්වත්තේදී සුනාමි රළට හසුවූ දුම්රිය මගීන්ගේ දින ගනනක් පසුවූ මළ සිරුරු සියතින් මිහිදන්කොට උන් වහන්සේ විසින්ම ආගමික වතාවත් සිදු කිරීම ඉන් එක් අවස්ථාවකි.

දරුවන්ට අධ්‍යාපනය ලබා දී තර්ක බුද්ධියෙන් යුත් අනාගත පරම්පරාවක් බිහිකිරීම, දුප්පත්කම සමාජයෙන් තුරන් කිරීමට එක් මගක් බව උන්වහන්සේ තරයේ විශ්වාස කළ අදහසකි. සෑම වසරකම කොළඹ පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට බස් යොදවා පාසල් ළමුන් කැඳවාගෙන යාම  ඊට එක් පදනමක් විය.

සමාජයේ කොතැනක හෝ සිදුවන වරදක් හේතුවෙන් අසරණ වන වැඩිහිටි ප්‍රජාව, ආබාධිත ප්‍රජාව සහ සෙමින් මනස වැඩෙන දරුවන් සමිත හිමියන් ගේ විශේෂ අවධානයට ලක්වූ පිරිස් විය. තමන් වහන්සේ වැඩ වාසය කළ ප්‍රදේශය මුල් කර ගනිමින් ඔවුන් සඳහා ආයතන බිහිකරන්නට දෙස් විදෙස් සමාජ සබඳතා උපයෝගී කරගන්නට  උන් වහන්සේ කටයුතු කළේ එය සමාජ වගකීමක් ලෙස සළකමිනි.

උන්වහන්සේ තෝරාගත් සංකල්ප මැතිවරණයක් ජයග්‍රහණය කරවන්නට අවශ්‍ය ඡන්ද පදනම් ගොඩනගන ඒවා නොවීය. උන්වහන්සේ තුළ දැල්වුණු යහපත්, සමානාත්වතාවෙන් යුත් සමාජයක් ගොඩ නැගීමේ අපේක්ෂාව එම සංකල්ප තුළින් ප්‍රකට විය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *