ඇතුගල ලස්සන කරන ජීවිතවල අවලස්සන ඇත්ත කතාව

 ඇතුගල ලස්සන කරන ජීවිතවල අවලස්සන ඇත්ත කතාව

-චාන්දනී දිසානායක-

නොබෝදා වැඩිවිය පත් තම බාල දියණිය රෙදි කඩකින් ආවරණය කර ගෙන නාගරික කම්කරු නිල නිවාසයේ සිට කිලෝමීටර බාගයකට නොඅඩු දුරකින් පිහිටා ඇති කුරුණෑගල විල්ගොඩ පොදු වැසිකිළි කාමර පෙළ වෙත ඔහුගේ බිරිය මහ දවාලේ රැගෙන යන දසුන දෙස, එන්. මහේන්ද්‍රන් නෙත් යොමා සිටියේ දුකකින් ද, තරහවකින් ද නොඑසේනම් තමන් කෙරෙහි ම උපන් ආත්මානුකම්පාවකින් ද යන්න පැහැදිලි නැත. 

‘අපි මේ ටවුම පිරිසිදු ව තියා ගන්න උදේ රෑ තිස්සෙ මහන්සි වෙලා වැඩ කරනවා. ඒත් මේ ක්වාටස් එකේ ඉන්න අපට හදිසියකට එළිපහළියකට යන්න වෙන්වෙච්ච තැනක් නෑ. අද අපි අපේ දරුවෝ රෙදිවලින් වහගෙන ටවුමෙ වැසිකිළියට එක්ක යනවා වගේ ම අපේ අම්මලත්  අපේ සහෝදරියන්ව රෙද්දෙන් වහගෙන දොට්ට පිලට එක්ක ගියා. ඒ අරන් ගියෙත් ටවුමෙ තියෙන පොදු වැසිකිළියටම යි. එදා ඉඳන් අපි මේ දුක පරම්පරා ගණනක් තිස්සේ විඳිනවා.’   

කම්කරු නිල නිවෙස්

නගරයේ ම සුව සෙත වෙනුවෙන් දවස පුරා වෙහෙසෙන එන්. මහේන්ද්‍රන්ලාට අනෙක් අතට සිදු ව ඇත්තේ ඔවුන්ගේ සුවසෙත අහිමි ව ඒ වෙනුවෙන් බැගෑපත් වන්නට ය. 

තම ජීවිත ගැටගසා ගන්නට  කුරුණෑගල නගරය පවිත්‍ර කරන  නාගරික කම්කරු රැකියාව කරන එන්. මහේන්ද්‍රන් තමන් මෙන් ම කුරුණෑගල නාගරික කම්කරු නිල නිවාසවල වෙසෙන පවුල් 175කට අයත් හය දෙනකුගෙන් යුත් එක් පවුලක් නියෝජනය කරන්නෙකි. වසර අසූවක් පැරණි මෙම නාගරික නිල නිවාසවල පවුල් 175ක් පදිංචි වී සිටියත්  කම්කරු නිල නිවාස තිබෙන්නේ ගණනින් 78කි. 

පරම්පරාවෙන් පරම්පරාවට භුක්ති විඳි මෙම නිල නිවාසවල දැන් දිවි ගෙවන්නේ හතර වැනි සහ පස් වැනි පරම්පරාවලට අයත් නාගරික කම්කරු පිරිස් ය. නාගරික ජල සැපයුම පමණක් මේ පිරිසට පොදු පහසුකමක් ලෙස සැපයෙයි.  

එන්. මහේන්ද්‍රන්ගේ නගර සභා සේවා කාලය වසර හතළිහකි.  ඔහු තවත් වසර දෙක තුනකින් විශ්‍රාම යාමට නියමිත ව සිටියි.  

එන් . මහේන්ද්‍රන්ලා මෙන් ම කුරුණෑගල ඉලුප්පුගෙදර 838 ග්‍රාම සේවා වසමේ 3963 ක ජනතාවක් අතරින් පවුල් කිහිපයක් හැර, වැඩි දෙනෙක් සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීමට වුවමනා පහසුකම් අහිමි ව දශක ගණනක් තිස්සේ පීඩා විඳිති.  

මෙම වසමට අයත් වන  ඉලුප්පුගෙදර,  සෞම්‍ය මාවත,  අම්මාන් කෝවිල මාවත,  විල්ගොඩ,  මීගමුපාරේ කොටසක්,  පුත්තලම් පාරේ කොටසක්,  සුමංගල මාවතේ කොටසකට අයත් ප්‍රදේශවල ජීවත්වන පවුල් අතරින් පවුල් 20 කට  වැසිකිළි හා කැසිකිළි පහසුකම් නැත. පවුල් 24 ක් නගරයේ පොදු වැසිකිළි භාවිත කරති.   

නාගරික කම්කරු  නිවාසවල වැසිකිළි පහසුකම් නැතිකම නිසා එම නිවාසවල ජීවත් වන නගර සභාවේ වැඩ කරන කම්කරුවෝ සේවයට වාර්තා කළ යුතු වෙලාවට පෙර සභාවට ගොස් එහි වැසිකිලි භාවිතා කර තම වුවමනා ා සපුරා ගනිති.   

නිවෙස්වල සිටින  දරුවන් සහ වැඩිහිටියන්ට පොදු වැසිකිලියක් භාවිතා කරන්නටවත්  හැකියාවක් නැති අවස්ථාවලදී ඔවුන් නගරයේ කාණු පද්ධතිය ඒ සඳහා භාවිත කරති.

ලෝක සම්මුතීන්වලින් තහවුරු ව පවතින මූලික මිනිස් අයිතිවාසිකම් කිසිවක් හිමි නැති විල්ගොඩ ජනතාව දැඩි ව පීඩා විඳින්නේ සනීපාරක්ෂක සහ නිවාස පහසුකම් අහිමි වීම හේතුවෙනි.

වසර 30 ක් 40 ක් තිස්සේ නිසි නඩත්තුවක් නැති, මූලික පහසුකම් සපුරා නැති, එහෙත් මෙහි වෙසෙන්නෝ නිල නිවාසවලට අදාළ මාසික කුලිය ගෙවමින්  ජීවත් විය යුතු වෙති. කාලෙන් කාලෙට එහි එන දේශපාලකයෝ නිවාස සිහිනයක බලාපොරොත්තු ඔවුනට ලබාදෙමින් මේ අය රවටා ඡන්ද ලබා ගැනීමේ උත්සාහය පමණක් සපුරා ගන්නට වෙර දරති. ඡන්දයෙන් පසු ඒ පොරොන්දු සියල්ල සිහින පමණක් ම බවට නැවතත් පත්වේ. යළි යළි පීඩාවට පත් වන ඔවුන්ගේ සුබසාධනයවෙනුවෙන් කටයුතු කිරීම කුරුණෑගල  නගර සභාව ද අතහැර දමා තිබේ.

පොලිතීන්වලින් වැසූ පොදු වැසිකිළි වල

මේ පසුබිම හමුවේ තම මූලික අයිතීන් පසුරා ගැනීම වෙනුවෙන් පෙනී සිටින පිරිසක් ද විල්ගොඩ ප්‍රදේශයෙ නැතුවා ම නොවේ. විල්ගොඩ ජනතාවගේ ගැටලුවලට විසඳුම් සෙවීමට සෘජුව සම්බන්ධ වෙමින් වැඩ කරන  විල්ගොඩ  ආර්. බාලක්‍රිෂ්ණන් (72) සපතේරුවෙක් ලෙස  නගරයේ සේවය කරන්නෙකි,. ඔහු විල්ගොඩ අතීතයත් වර්තමානයත් පැහැදිලි කළේ ය.

 “අපේ තාත්තලා මේ නගර සභාවේ වැඩ කළා . ඒ අයට ලැබුණ නිල නිවසවල තමයි අදටත් අපි ඉන්නෙ. මෙතනින් එහාට යන්න තැනක් නැති හින්දා නිල නිවාසයේ රැඳී ඉන්නනම් පවුලේ කවුරුහරි නගර සභාවේ කම්කරුවෙක් විදිහට වැඩ කරන්න ඕනේ. “

නගර සභාවේ ක්‍රියාත්මක  නීතියට අනුව සභාවේ වැඩ නොකරන පිරිස් නිල නිවෙස්වලින් එළියට දැමීමේ බලය නගර සභාව සතු ව පවතියි. නිවාස 78ක   පුද්ගලයෝ 1002 ක් එහි ජීවත් වෙති. ඒ බාලක්‍රිෂ්ණන් නිල නිවාස මරණාධාර සමිතියේ ලේඛනයක් සඳහා 2019 දී එකතු කළ තොරතුරුවල සඳහන් පරිදි ය.

කුරුණෑගල නගර සභාවට පත් වූ සියලුම නගරාධිපතිවරුන්ගේ අදහස වූයේ මේ නිල නිවෙස්වල වසන අයගේ අනාගත පරම්පරා ද නගරයේ කසල ශෝධකයන් විය යුතු බව ය. නො එසේනම් කම්කරුවන් විය යුතු බව ය. එලෙස කසළ ශෝධකයන් ලෙස තබා ගත හැක්කේ පහසුකම් සැලසීමෙන් නොව පොරොන්දු දෙමින් පමණක් බව පත් ව සෑම නගරාධිපතිවරයෙක් ම වටහා ගත් කරුණක් ව තිබෙ යි.

ආර්.බී රැකව මහතා නගරාධිපති ව සිටි කාලයේ දී නගර සභාවේ සේවය කරන විල්ගොඩ වැසියන් වෙනුවෙන් නාගරික නිල නිවාස 48 ක් ඉදි කෙරිණි. ඒවායෙහි පදිංචි කෙරුණේ නගරාධිපතිවරයාට හිතැති එවක විල්ගොඩ ප්‍රදේශයේ පදිංචි ව නොසිටි නොවන පුද්ගලයන් ය. විල්ගොඩ පදිංචිකරුවන් දෙදෙනකුට පමණක් එහි නිවාස ලබා දීම නිසා මේ දෙපිරිස අතර කහටක් ඇතිකරන්නට ද නගර සභාව එවක ගත් තීරණය හේතු වී තිබිණි.  

” අලුතින් එන  නගරාධිපතිවරු පොරොන්දු වෙනවා අපිට අලුත් නිල නිවාස දෙනවා කියලා. ඒත් තවම ඒක ඉෂ්ඨ වෙලා නෑ. මේක හොඳ ම නගර සභාව කියල කිව්වට බලන්න ඕනේ මිනිස්සු ජීවත් වෙන හැටි.”

ඒ බාල ක්‍රිෂ්ණන්ගේ කතාව ය.

මේ පිරිසට සනීපාරක්ෂක පහසුකම් සහ  නිවාස පහසුකම් අහිමි වීම නිසා  පීඩා විඳින්නේ ප්‍රදේශයේ ජීවත්වන පිරිස් පමණක් නොවේ. සමස්ත නාගරික ප්‍රජාවටත්, පිටතින් කුරුණෑගල නගරයට එන පුද්ගලයන්ටත් එයින් ඇති කෙරෙන සෞඛ්‍යමය ගැටලු ව විශාල ය. ඒ නාගරික කාණු පද්ධතිය අප ජලය බැහැර කෙරෙන මාර්ගයක් මෙන් ම මළ පහ කරන්නටත් භාවිත කිරීමේ අනිටු පල ඔවුනටත් විඳින්නට සිදු වන හෙයිනි.

පරම්පරාගත නාගරික කම්කරුවන් සිය සේවය නතර කළහොත්  ඔවුන් කම්කරු නිවාසවලින් එළියට ඇද දැමීම නිසා ඇති වන අතුරු පල හා විවිධ සිදුවීම් පොලිසියට විටින් විට වාර්තා වෙයි. ඒ ඔවුන්ගෙන් වැඩි දෙනෙක්  තැන තැන ඇවිදිමින්, සොරකම් කරමින්, මත්ද්‍රව්‍ය පාවිච්චි කරමින් සහ සිඟමන් යදිමින් ද ජීවත් වෙන බැවිනි. මේ නිසා ඇතැම් දරුවන්ගේ පාසල් ගමන ද  අහිමි වී තිබේ.  

වෙනත් ප්‍රදේශයක නව නිල නිවාස ඉදි කර තමන්ට ලබා දෙන්නේ නම් එය සුදුසු  බව  පදිංචිකරුවන්ගේ අදහස වුවත්, ඒ අදහස මැතිවරණ සමයේ දී පමණක් ඡන්ද ඇමක් ලෙස භාවිතයට ගෙන එන්නක් බවට පත්ව තිබේ. 

සෑම මැතිවරණයක් ආසන්නයේ දී ම විවිධ පක්ෂවල අපේක්ෂකයන් මේ පිරිමට නව නිල නිවාස හා පොදු පහසුකම් පිළිබඳ බලාපොරොත්තු දුන්නත් ඉනික්බිති කිසිම කෙනෙක් ඔවුන්ගේ ගැටලු කෙරෙහි අවධානය යොමු නොකිරීම  පිළිබඳව ඔවුන් තුළ ඇත්තේ දැඩි කනස්සල්ලකි.

වැහි දා අසිරිය

කිසිදු දේශපාලකයකුගෙන් තමන්ට සාධාරණයක් බලාපොරොත්තු විය නොහැකි බැවින් ඉලුප්පුගෙදර වසමෙන් පක්ෂ දෙකකින් දෙවතාවක දී  නාගරික සභිකයන් දෙදෙනෙක් නගර සභාවට පත්කර හැරීමට ඔවුන් කටයුතු කළේ සිය ප්‍රජාවගේ යහපත සලසා ගැනීම අරමුණු තරගෙන ය.  

කම්කරුවන් අතරින් ම නගර සභාවට තේරී පත් වුණු එම සභිකයන් ද  ඔවුන්ගේ පෞද්ගලික අවශ්‍යතා ඉටු කර ගෙන විල්ගොඩ කම්කරුවන්ගේ ගැටලුවලින් පමණක් නොව ප්‍රදේශයෙන් ද වෙන් ව ගොස් මේ වන විට වෙන ම ප්‍රදේශයක පදිංචි වී සිටියි. 

විල්ගොඩ ඇතැම් පදිංචිකරුවන්, මත් ද්‍රව්‍ය වෙළෙන්දන්ගේ, දේශපාලකයන්ගේ සහ පොලිසියේ ද ඉත්තන් බවට අද වන විට පත්වීමට ද ඉඩ සැලසී ඇත්තේ මේ පිරිසට අද වෙද්දී මුහුණ දීමට සිදු ව ඇති අකටයුතුකම්වල බලපෑම හේතුවෙනි.

මැතිවරණ කාලවල දී නිවාස ලබාදීම, රැකියා ලබාදීම,  ගංවතුර  ආධාර බෙදීම ඇතුළු දේශපාලකයන්ගේ ඡන්ද එකතු කිරීමේ ව්‍යාපාරවල දී මෙම පිරිස අනිසි අයුරින් උපයෝගී කර ගැනීම ද සුලබ දසුනකි.  

මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්,  අලෙවි කරන්නන් මේ ප්‍රදේශයේ සැරිසරනවා පමණක් නොව, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් සිරගත වීමට ද  මේ ප්‍රදේශයේ ඇතැම් තරුණයන් යොදා ගැනීමත් පිළිබඳ ව විල්ගොඩ වැසියන් තුළ ඇත්තේ මහත් කලකිරීමකි. ඇතැම් පොලිස් නිලධාරීන් නඩු වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කිරීමෙන් අය කරන දඩවලින් වැඩි කොමිස් මුදලක්  ලබා ගැනීමට මේ ප්‍රදේශයේ හට ගන්නා සිද්ධි භාවිත කිරීමත්  දක්නට ලැබෙන බවට ද චෝදනා එල්ල වෙයි. විල්ගොඩ ජනතාවගේ ගැටලු තම පැවැත්ම උදෙසා භාවිත කිරීම සිඟන්නා ගේ තුවාලයක් බවට පත් කර ගෙන ඇතැයි විල්ගොඩ ජනතාව ම කියති.    

 කුරුණෑගල පොලිසියේ උසස් නිලධාරීන් සඳහන් කරන්නේ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැඩි ම පැමිණිලි නිරන්තරයෙන්ම වර්තා වන්නේ කුරුණෑගල නගරයේ ම විල්ගොඩ, බණ්ඩාරනායකපුර, ගැට්ටුවාන යන  ප්‍රදේශවලින් බව ය. 

කුරුණෑගල, විල්ගොඩ නාගරික කම්කරු නිල නිවාසවලට  සීමානොවුණු නිල නිවාස හා පොදු පහසුකම් ප්‍රශ්නය  පිළිබඳ ව තොරතුරු දැනගැනීමේ පනත උපයෝගී කර ගනිමින්  කළ විමසීමක දී  තොරතුරු නිලධාරී නීතිඥ  ආර්. එම්. ඊ. යු. කේ. රත්නායකගේ අත්සනින් යුතුව ලද MSD/AS/01/01/13 දරන ලිපියට අනුව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සැලසුම් කර ඇති පරිදි නව නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නියමිත බව එහි සඳහන් කර තිබිණි.

එලෙස ම එම ලිපියේ ම සඳහන් කර ඇත්තේ එක නිවසක පදිංචි පවුල් සංඛ්‍යාව පිළිබඳ ව සහ අනු පවුල් පිළිබඳ ව තොරතුරු ඔවුන් සතුව නොමැති බව ය. සනීපාරක්ෂක ගැටලුවට විසඳුම් දෙන තොරතුරු නිලධාරිවරයා සඳහන් කරන්නේ එහි පොදු  වැසිකිළි පද්ධතියක් සහ තනි තනි වැසිකිලි පවතින බව ය. 

එහෙත් තනි තනිව තිබුණු වැසිකිළි වසර පහ හයක සිට පැවති තැනක් පිළිබඳ සලකුණක්වත් පෙනෙන්නට නැත. වැසිකිළි වළවල් ද ඉටි රෙදිවලින් වසා දමා අවුරුදු තුනකටත් වැඩි කාලයක් ගෙවී ගොසිනි. ඒවා තවමත් පවතින්නේ එලෙසම ය. එනමුදු තොරතුරු නිලධාරිවරයා සඳහන් කරන්නේ සැප්තැම්බර් 14 දින දරන තොරතුරු දැනගැනීමේ පනතට අනුව ඉදිරිපත් කළ අයදුම්පත්‍රය හමු වන විටත් එහි අලුත්වැඩියා කටයුතු සිදු වෙමින් පවතින බව ය. 

 2021 නොවැම්බර්  28 වැනි දා ඉරිදා ලංකාදීප පුවත්පතින්  හෙළි කළ අනාවරණයේ දී හිටපු නාගරික කොමසාරිස් ප්‍රදීප් තිලකරත්න සඳහන් කර ඇත්තේ මේ වන විටත් නිවාස ව්‍යාපෘතිය ඉදිකිරීමට  සියලු පියවර ගෙන ඇති බව ය. එතෙක් ජනතාවගේ සනිපාරක්ෂක කටයුතු සැලසීමට පියවර ගන්නා බව ය.

තොරතුරු දැනගැනීමේ අයදුම් පත්‍රයට පිළිතුරු සපයමින් 2022.09.05    MSD/AS/01/01/13 ලිපියෙන් සඳහන් කර ඇත්තේ ද කුරුණෑගල, විල්ගොඩ නාගරික කම්කරුවන් උදෙසා නව නිවාස ව්‍යාපෘතියක් ඉදි කිරීමට කටයුතු සැලසුම් කර ඇති බව ය.

කුරුණෑගල වර්තමාන නාගරික කොමසාරිස් එම්. ඒ . බී සි ආලෝක බණ්ඩාර මහතා කියා සිටියේ ද මේ වන විටත් නාගරික සංවර්ධන අධිකාරියෙන් 2023 වසරේ දී නාගරික කම්කරු නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ය. 

ඒ ආකාරයට මීට පෙර රාජකාරි කළ නාගරික කොමසාරිස්වරුන් සිව්දෙනෙක් මේ අයුරින් නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බවට විවිධ අවස්ථාවල දී අදහස් පළ කර තිබේ. එහෙත් මේ වනතුරුත් එය ක්‍රියාවට නැංවී ඇති බවක් දක්නට නැත.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේ දී ගෝඨාභය රාජපක්ෂ  නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම්වරයා ලෙස කටයුතු කරමින්  විල්ගොඩ නිවාස  ව්‍යාපෘතිය ආරම්භ කිරීමට මුල්ගල තැබිණි. ඒ එවක  හිටපු වයඹ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර අතින් 2014 ඔක්තෝබර් 9 වැනි දා මුල්ගල තැබීමෙනි.

එදින ඔවුන්ගේ අදහස වුයේ  “වසර විස්සක් මුළුල්ලේ මේ දුප්පත් ජනතාව නිසි වාසස්ථානයක් නොමැතිව ජීවත්වූ බවත්, ප්‍රදේශයේ නොයෙකුත් දේශපාලනඥයන් විවිධ අවස්ථාවලදී මේ පිරිස වෙනුවෙන් නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට පොරොන්දු දී තිබුණත් එම වැඩසටහන ආරම්භ නොවූ බව ය. එම නිසා වයඹ ප්‍රධාන අමාත්‍යවරයාගේ සංකල්පයක් පරිදි යෝජිත නව නිවාස සංකීර්ණය ඉදිකිරීමේ  වැඩ ආරම්භ කළ ඉවත් එහිදී ප්‍රකාශ විණි.

එම  නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට   නිවාස සංවර්ධන අධිකාරියෙන් අරමුදල් යොදවනවා වෙනුවට විල්ගොඩ  වැසියන් පදිංචි අක්කර දෙකහමාරක් පමණ වටිනා භූමිභාගය අදාළ කොන්ත්‍රාත්කරුවන්ට පවරා ඒ වෙනුවට ප්‍රධාන මාර්ගයට ඔබ්බෙන් පිහිටි විල්ගොඩ වත්තෙහි මෙම  නිවාස ඉදිකිරීමට සැලසුම් කර තිබිණි. 

මහල් 15 කින් යුත් එම නිවාස ව්‍යාපෘතිය ඉදි කිරීමට 2014දී රුපියල් මිලියන දෙදහක මුදලක් ඇස්තමේන්තු කළ ද, තවමත් එම නිවාස ව්‍යාපෘතිය ඉදි කිරීම ඇරඹී නැත.

එය එසේවුව ද කුරුණෑගල වැව රවුමෙහි පිහිටි පැරණි නගරාධිපති නිල නිවස කඩා ඉවත් කර, එම ස්ථානයේ ම රුපියල් ලක්ෂ 600 ක   වියදමකින්   නගරාධිපතිවරයා සඳහා නව නිල නිවසක් ඉදිකර ඇත්තේ වසරක් වැනි කෙටි කාලයක් ඇතුළතදී ය. මේ වන විට කුරුණෑගල නගරාධිපතිවරයා එම නිල නිවසේ පදිංචියට ද පැමිණ තිබේ. අදාළ කොන්ත්‍රාත් සමාගම සඳහන් කළේ  ඉදිකිරීම් ආරම්භ කළ කාලය තුළදී කොවිඩ් ගැටලුව මතු වූ නිසා මාස දෙකක පමණ කාලයක පමණ ප්‍රමාදයකින් පසු එම ඉදිකිරීම සම්පූර්ණ කළ හැකි වූ බව ය. ඒ සඳහා නගර සභාව සතු ප්‍රතිපාදනවලින් එක් මුල්‍ය වර්ෂයක් ඇතුළත (2021-2022) රුපියල් ලක්ෂ  600ක් වැය කර තිබුණු බව ඇස්තමේන්තු සඳහන් කරයි. 

එනමුදු වසර ගණනාවක් තිස්සේ නිල නිවාස හා ඒවායේ පොදු පහසුකම් ගැටලුවෙන් පීඩා විඳින කුරුණෑගල නගරය පිරිසුදු කරන නාගරික කම්කරු පවුල්වලට  සාධාරණයක් ඉටු කිරීමට කිසිදු මහජන නියෝජිතවරයකුට නොහැකි වී තිබේ. 

නගරාධිපති නිල නිවෙස (ග්‍රාෆික සේයාරුවකි)

නාගරික ජනතාවගේ බදු මුදලින් නාගරික ජනයාට සේවය සපයනවා වෙනුවට නගරාධිපතිවරයාට  සුඛෝපභෝගී මන්දිරයක් අලුතින් ඉදි කිරීමට සියලු ම නාගරික සභිකයන් යුහුසුළුව කටයුතු කර ඇතැයි විල්ගොඩ ජනතාව මෙන් ම සමස්ත නාගරික වැසියෝ ද චෝදනා නඟති.

වසර විසි හයක් තිස්සේ නගරසභාවේ සභිකයෙක් ලෙස කටයුතු කරන එක්සත් ජාතික පක්ෂයේ වරුණ ප්‍රේමරත්න, විල්ගොඩ ප්‍රදේශයේ නිවාස ව්‍යාපෘතිය ඉදිකිරීම පිළිබඳව අග මුල දත් අයෙකි. ඔහු පවසන්නේ මේ අසරණ මිනිසුන්ට නිවාස ඉදිකර දෙන බවට දුන් පොරොන්දුව 2023 වසරේදීත් ඉටු නොවනා බව ය. 

‘’ඒකත් බොරු පොරොන්දුවක්. නාගරික සංවර්ධන අධිකාරිය දැනට කුරුණෑගල ආරම්භ කළ ව්‍යාපෘති එකක්වත් අවසන් කරල නෑ. වැව රවුම සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අවසන් වෙලා නෑ. ඒකත් අතරමඟ නතර වෙලා”

එයට අමතර ව නාගරික සංවර්ධන අධිකාරිය ඇරඹූ කුරුණෑගල රජපිහිල්ල උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු ද අඩාල වී ඇත්තේ ද මුදල් නැති කම නිසා ය. 

‘මේ වැඩ අතරමඟ නතර කළ නාගරික සංවර්ධන අධිකාරිය විශාල මූල්‍ය අර්බුදයක සිටිද්දී 2023 දී කොහොමද විල්ගොඩ  නිවාස ව්‍යාපෘතිය  ආරම්භ කරන්නේ’ යි නාගරික මන්ත්‍රී වරුණ ප්‍රේමරත්න විමසයි.

වසර 30ක පමණ කාලයක සිට නිවාස හා පොදු පහසුකම් අහිමිවීමෙන් දුක් විඳින මිනිසුන් වෙනුවෙන් වසරකට නිවාස 5 බැගින් හෝ ඉදිකළා නම් අද වනවිට කුරුණෑගල, විල්ගොඩ නාගරික කම්කරු නිල නිවාසවල වෙසෙන්නන්ගේ ගැටලු නිරාකරණය වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන නාගරික මන්ත්‍රී රණුක සනංජයගේ ද අදහස විය.

“විල්ගොඩ ජනතාවගේ සමාජ, ආර්ථික සහ අධ්‍යාපනික වශයෙන් තිබෙන ගැටලු පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදුකොට ඒ ගැටලුවලට විසඳුම් සොයන අතරතුර ඔවුන් මුහුණ දෙන නිවාස අර්බුදය විසඳීමට ද අවධානය යොමු විය යුතු යි. හැකි නිවාස අලුත්වැඩියා කර දීමත්, අනු පවුල් සඳහා නිවාස ව්‍යාපෘතියට තෝරා ගත් භූමි භාගයේ නිවාස ඉදි කිරීමත් මඟින් මේ ගැටලුවට විසඳුම් සෙවීමයි වඩාත්ම සුදුසු” යයි නාගරික මන්ත්‍රී රණුක සනංජය කියයි.

නිල නිවාස හා පොදු පහසුකම් පිළිබඳ කුරුණෑගල, විල්ගොඩ නාගරික කම්කරුවන්ගේ බලාපොරොත්තුව ඡන්දයකට හිලව් කරමින් වසර තිහකට වැඩි කාලයක් ඔවුන් රැවටීමට ලක් කර තිබේ. එය මේ දේශපාලකයන් ඉදිරියටත් සිදු කර ගෙන යන බව නම් පැහැදිලි ය. ඒ හේතුවෙන් කුරුණෑගල, විල්ගොඩ නාගරික කම්කරුවන්ගේ නිවාස හෝ සනීපාරක්ෂාව පිළිබඳ ගැටලු ද තවදුරටත් නො වෙනස්ව ඉදිරියට ද පවතිනු ඇත.            

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *