ආලංකුලම රක්ෂිත සංහාරය නැගෙනහිර ආණ්ඩුකාරවරියගේ නිරීක්ෂණයට

 ආලංකුලම රක්ෂිත සංහාරය නැගෙනහිර ආණ්ඩුකාරවරියගේ නිරීක්ෂණයට

ත්‍රිකුණාමලය ආලංකුලම වනරක්ෂිතය සහ පුරාවිද්‍යා ස්ථාන විනාශ කළ පුද්ගලයන් තරාතිරම නොබලා නීතියේ රැහැනට හසුකර ගන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අද(21) ආරක්ෂක අංශ වෙත නියෝග කළාය.

ආලංකුලම රක්ෂිතයේ සිදු කර ඇති වනසංහාරය පිළිබද සොයා බැලීම සදහා ආණ්ඩුකාරවරිය අද පෙරවරුවේ එම ස්ථානයට ගිය අතර එහිදී පැමිණ සිටි ආරක්ෂක අංශ නිළධාරින් සහ වනඅඩවි නිළධාරින් හමුවේ ඇය මෙම නියෝගය සිදු කළාය.

ආලංකුලම රක්ෂිතයේ අක්කර 16ක පිහිටි කළුවර, බුරුත, වීර,පලු ඇතුළු විශාල ගස් ප්‍රමාණයක් සිත්පිත් නොමැති අයුරින් කපා බිම දමා ඇති අතර එම රක්ෂිතය පිහිටි පුරාවිද්‍යා වටිනාකමින් යුත් ස්ථාන රැසක්ද විනාශ කර දමා තිබු අයුරු ආණ්ඩුකාරවරිය නිරීක්ෂණය කළාය.

එම රක්ෂිතය අයිති වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින්ට ද ආණ්ඩුකාරවරිය කියා සිටියේ දැනට ක්‍රියාත්මක පරීක්ෂණ සදහා හැකි උපරිම සහය ලබා දෙන ලෙසයි.

කවුරුන් හෝ සිදු කර ඇති මෙම විනාශයෙන් පළාතේ වටිනා පුරාවිද්‍යා නටඹුන් ඉදිරි පරම්පරාවට දැක බලා ගැනීමටවත් ඉඩ නොමැති වන බවද සදහන් කළ ආණ්ඩුකාරවරිය පොලිසියට උපදෙස් දුන්නේ කුමන බලපෑම් පැමිණියද මෙහි පරීක්ෂණ කටයුතු අතරමග නතර නොකරන ලෙසය.

කොරෝනා වසංගතය පාලනය කිරීම සදහා රජය ක්‍රියාත්මක කර ඇති ඇදිරි නීතියට මුවාවී මෙම පුද්ගලයන් ආලංකුලම රක්ෂිතයේ මෙම විනාශය සිදු කර ඇත. දැනට ඊට අදාළ පුද්ගලයන් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කර ඇති අතර තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවද එම ස්ථානයට පැමිණ සිටි පොලිස් නිළධාරින් ආණ්ඩුකාරවරිය හමුවේ පැවසූහ.

මේ අවස්ථාවට අරිසිමල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය පනාමුරේ තිලකවංශ නාහිමියන් ද වැඩම කර සිටි අතර කන්තලේ ජේෂ්ඨ පොලිස් අධිකාරි ධම්මික වීරසේකර, සහකාර පොලිස් අධිකාරී ඩේමියන් පෙරේරා, ගෝමරන්කඩවල පොලිස් ස්ථානාධිපති ඒ.පී.පී. ද සිල්වා, ගෝමරන්කඩවල ප්‍රාදේශිය ලේකම් වනඅඩවි නිළධාරින් සහ වනරක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිළධාරින් පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *