ආරක්ෂිත වාතාවරණයක් තුළ ඡන්දය තියන්න – “නිදහස” පුරවැසි එකමුතුව ආණ්ඩුවෙන් ඉල්ලයි

මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබියදී දිවයිනෙහි ස්ථාන කිහිපයකින්, කොවිඩ් 19 ආසාදිත බව තහවුරු වූ කිහිප දෙනෙකු හඳුනාගැනීමත් සමග වසංගතයේ ද්විතීයික රැල්ලකින් පුරවැසියා මුදා ගැනීමේ බරපතල වගකීමක් ආණ්ඩුවට පැවරී ඇති බව කොළඹදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් “නිදහස” පුරවැසි එකමුතුව පවසයි.
“නීතිපති දෙපාර්තමේන්තුව හරහා දැන් පැහැදිලි කරගන්න දඟලන මැතිවරණය පැවැත්වීමට අදාල සෞඛ්‍ය නිර්දේශ මීට සෑහෙන කාලෙකට කලිං සෞඛ්‍ය අංශවලින් නිකුත් කළ යුතුව තිබුණා. අපි දන්නවා දැන් මේ මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යංශය භාරයේ තියෙනවා ගැසට් නොකර. මේකෙන් නිලධාරින් තුළ තමන්ගෙ මැතිවරණ රාජකාරි ඉටුකිරීම ගැන අනවශ්‍ය පීඩනයක් ඇති වෙලා තියෙනවා. ඒ හින්දා වගකිවයුතු පුරවැසියො විදියට අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා මේ ගැන වහාම අවධානය යොමු කරන්න කියලා” යැයි මෙහිදී අදහස් දැක්වූ ගාමිණී වියන්ගොඩ පැවසීය.
මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වූ නිදහස ව්‍යාපාරයේ සාමාජික මහාචාර්ය රොහාන් සමරජීව පැවසුවේ, ප්‍රජාතන්ත්‍රවාදය ඉහළ නැංවීමේ වැදගත්කම මධ්‍යගත වන්නේ වසංගතය පිළිබඳ නිරවද්‍ය තොරතුරු පුරවැසියන් හා තීරණ ගන්නන් අතර බෙදා ගැනීම මත බවයි. එසේම ඔහු අවධාරණය කළේ කොවිඩ් හදිසි ව්‍යසනයට මුහණ දෙන අතරතුර පවා ව්‍යවස්ථාවට අනුව කටයුතු කිරීටත් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ආණ්ඩුව පෙනී සිටිය යුතු බවයි.
“මිනිස්සු උනන්දුයි තව රැල්ලක් ගැන. කෙසේවෙතත් කවර තත්ත්වයන් යටතේ හෝ මැතිවරණය පැවැත්විය යුතුයි ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න සහ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ආරක්ෂාව සඳහා. එය සිදුවෙන්න නම් ආණ්ඩුව හැකිතාක් ඉක්මනින් සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් කරලා නිලධාරීන්ට නියමිත පරිදි මැතිවරණ රාජකාරිවල නිරත වෙන්න සහ පුරවැසියාට ඉහළම ආරක්ෂිත තත්ත්වයන් යටතේ මැතිවරණ සමයට මුහුණ දෙන්න අවස්ථාව උදා කළ යුතුයි. මහජනතාව රටේ නීතිය ගැන ව්‍යාකූලත්වයට පත් වෙලා ඉන්නෙ. අපි දැක්කා හිටපු ඇමතිවරයෙකුගේ අවමංගල්‍යය සම්බන්ධයෙන් ආණ්ඩුව ප්‍රතිචාර දක්වපු ආකාරය. එය බරපතල පණිවිඩයක් දුන්නා ජනතාවට දෙයාකාරයක ප්‍රමිතීන් ගැන සහ තමන්ගෙ ආරක්ෂාව සළසා ගත යුතු අන්දම ගැන යැයි මෙහිදී පැවසුවේ නිදහස සාමාජික ජාවෙඩ් යූසුෆ් ය.
අනිද්දා පුවත්පතේ කතුවරයාද වන නිදහස සාමාජික කේ. ඩබ්ලිව් ජනරංජනද මෙහිදී අදහස් දැක්වීය. ඔහු පැවසුවේ, මැතිවරණ පවත්වන ලෙස පුරවැසියා ඉල්ලා සිටි බවයි. “ආණ්ඩුව පුරවැසියාට වගකිව යුතුයි. එහිදී, සාධනීය සහ ආරක්ෂිත වාතාවරණයක් ගොඩ නැංවිය යුතුයි. පවතින තත්ත්වය දිහා බැලුවොත් ආණ්ඩුවේ යාන්ත්‍රණය අසමත් කියලා පේනවා. මේක ජාතික ප්‍රයත්නයක් විය යුතුයි. විවිධ මට්ටම්වලදී විවිධ තීරණ ගත යුතු වෙනවා වගේම විවිධ විශේෂඥයෝ, විවිධ දේශපාලන පක්ෂවල නියෝජිතයෝ එක්ව වැඩ කළ යුතු නමුත් ආණ්ඩුව තමන්ගෙම හේතුවක් නිසා ඒකට ඉඩ සළසන්නේ නැහැ වගේම මේක ජාතික ප්‍රශ්නයක් ලෙස සළකා වැඩ කළ යුතුයි.” යනුවෙන්ද ඔහු වැඩිදුරටත් පැවසීය.
නිදහස පුරවැසි ව්‍යාපාරයේ සාමාජික මනූ තිසේරාද මෙහිදී අදහස් දක්වමින් පවසා සිටියේ, වගවීමේ ක්‍රියාවලිය තුළ ආපදා කළමනාකරණ විශේෂඥයින් උපදෙස් ලබා දෙන බවක් පෙනෙන්නට නැති අතර කොවිඩ් සටනේ කිසිම කාර්ය සාධක බලකායක ඔවුන්ගේ නියෝජනය නැති බවයි. ඇය සඳහන් කරන අන්දමට මෙම විශේෂඥයින් ආපදා අවස්ථාවක ක්‍රියා කරන අන්දම ගැන මනාව පුහුණු වූවන් වේ. “මෙය වසර පුරාම කළ යුතු කරතව්‍යයක්. දැන් වාර්තා වෙනවා සමහර වෙලාවල ජාතික කාර්ය සාධක බලකාය රැස්වෙලා නැහැ. අන්න ඒ නිසයි අපි දැඩිව ප්‍රශ්න කරන්නෙ ආපදා විශේෂඥයෝ සහභාගි නොවීම ගැන. අද අපි බලාපොරොත්තු නොවූ තත්ත්වයකට මුහුණ දෙන්න මේකත් හේතුවක්ද කියලා මං අහනවා” යනුවෙන්ද මනූ තිසේරා පැවසුවාය.