ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය මර්ධනය කරනවා. අන්තරෙන් චෝදනාවක්.

අදහස් දැක්වීමේ හා ප්‍රකාශනයේ නිදහස සීමා කිරීම සඳහා මෙහෙයුමක් දියත් කර ඇති ආණ්ඩුව එමගින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා. එහි කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමියන් නමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනුයි ඔවුන් මේ බව පවසන්නේ.
ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ආණ්ඩුව විවේචනය කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර මේවනවිට මීගමුව බන්ධනාගාරයට අයත් නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා ඇතැයි පවසන එම නිවේදනයේ දැක්වෙන්නේ, විවෘත විශ්වවිද්‍යාලයේ සිසුවෙකුද එම චෝදනාවටම අත්අඩංගුවට ගැනීමට උත්සාහ දරා තිබෙන බවයි.
කොවිඩ් 19 වයිරස ව්‍යාප්තිය පිළිබඳ සාවද්‍ය මත පළකළ දේශපාලනඥයින්ට විරුද්ධව කිසිම ක්‍රියාමාර්ගයක් නොගත් ආණ්ඩුව මේ මොහොතේ ශිෂ්‍ය ප්‍රජාව ඇතුළු සමාජ ක්‍රියාකාරීන්ගේ විවේචන තර්ජනයක් ලෙස දකිමින් සිදුකරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය මර්ධනය කිරීමක් බවද මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.
එළැඹ තිබෙන්නේ ජාතික මට්ටමේ ව්‍යසනයක් නිසා අසත්‍ය හා නොමඟ යවනසුලු ප්‍රචාර සිදුකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ ගැටලුවක් නැති නමුත් ආණ්ඩුව දේශපාලනික වශයෙන් විවේචනය කරන හා විකල්ප මත දරන පිරිස මර්ධනය නොකරන ලෙස බලකරන බවද අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සිය නිවේදනයෙහි පවසනවා.