ආණ්ඩුව කොරෝනා මර්ධන කටයුතු මිලිටරිකරණය කළා – ජාතික විද්වත් සංවිධානය

 ආණ්ඩුව කොරෝනා මර්ධන කටයුතු මිලිටරිකරණය කළා – ජාතික විද්වත් සංවිධානය

රෝග මර්දනය සඳහා වූ සමස්ත ක්‍රියාවලිය සියලු දෙනාගේ වගකීමක් බවට පත්කරනවා වෙනුවට රජය එය හුදු මිලිටරි ක්‍රියාවලියක් බවට පත්කළේය. වත්මන් ආණ්ඩුවේ පවතින සියල්ල මිලිටරිකරනය කිරීමේ ව්‍යාපාරයේ දිගුවක් ලෙස මෙය හැඳින්විය හැකි අතර එය ආණ්ඩුවේ නායකයින්ගේ සහාසික බල ව්‍යාපෘතියේ එක අංගයක් ලෙස හඳුනා ගත හැකිය.

කොරෝනා මර්දන ජාතික ව්‍යාපාරය සෞඛ්‍යය හා ආපදා කළමනාකරණ අංශ විසින් නායකත්වය ලබාදිය යුතු ව්‍යාපාරයක් බව ජාතික විද්වත් සංවිධානයේ අදහසයි. රෝගය ආසාදනය වූ බවට සැක සහිත පුද්ගලයින් නිරෝධායනය කිරීමේදී ආරක්ෂක හමුදාවලටද එහි තීරණාත්මක වගකීමක් පැවරේ. එහෙත් මෙම ව්‍යාපාරය මිලිටරීකරණය කිරීමත් සමග එය රෝග මර්දනයට බාදාවක් බවට පත්වී අති අයුරු දැන් දක්නට ලැබේ. උදාහරණයක් ලෙස නිරෝධායනය යනු පොලිස් හෝ හමුදා අත්අඩංගුවට පත්වීමක් හෝ දඬුවම් ලබන වරදකට හසුවීමක් වැනි සමාජ මනෝභාවයක් දැන් ජනතාව තුල ඇතිවී තිබේ. ඇඳිරිනීතිය කඩකරන්නන් නිරෝධායනයට ලක්කරන බවට පැවසීම මෙහි නිල ප්‍රකාශනයයි.

වසංගතයක් පාලනය කිරීම සඳහා මනා සන්නිවේදන ක්‍රියාවලියක් අවශ්‍ය වන අතර එමගින් රෝගය පිලිබඳ ජනතාවගේ සංජානනය, ආකල්ප සහ හැසිරීම් වෙනස් කිරීම අපේක්ෂා කරයි. එහෙත් මිලිටරීකරණය කරන ලද මෙරට කොරෝනා මර්දන ව්‍යාපාරයේ සිදුවූයේ අනෙකකි. ආසාදනයට ලක්විය හැකි රෝගීන් සැඟවීමට පටන් ගත් අතර අපරාධ කරුවන් පසුපස හඹා යන පරදි බුද්ධි අංශ ඔවුන් පසුපස හඹා යන්නට විය. රෝගය, මුස්ලිම් වැනි සුළු ජන කොටස් නිසා ව්‍යාප්ත වන බවට ආණ්ඩුව සහ ආණ්ඩුවට හිතවත් ජනමාධ්‍ය හා සමාජ ජාලා මෙහෙයවන පිරිස් විසින් ප්‍රචාරය කිරීම නිසා රෝග මර්දන ව්‍යාපාරය තවදුරටත් අර්බුදයට ලක් වී ඇත. ආණ්ඩුවේ දේශපාලන බල ව්‍යාපෘතියට නැවතත් මෙම ජාතිවාදී මනෝභාවයන් යොදාගනිමින් තිබේ.

අවශ්‍ය පරීක්ෂණ සිදුකිරීම සහ ඒ සඳහා අවශ්‍ය පහසුකම් වැඩිකිරීමට රජය ඉතා විශාල ලෙස ප්‍රමාද වූ අතර අවශ්‍ය ප්‍රමාණයට අරමුදල් පැවතිය ද ඒවා මෙවැනි අත්‍යවශ්‍ය කටයුතු සඳහා යොදා නොගැනීම මවිතයට කරුණකි. රෝගය කුමන මට්ටමකට පත්වේද යන්න පිළිබඳව අනාවැකි කිව නොහැකි තත්වයක් යටතේ දිස්ත්‍රික්ක මට්ටමින් දැඩි සත්කාර ඒකක ඇඳන් යම් නිශ්චිත ප්‍රමාණයකින් වැඩිකිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු වුවත් ඒ පිලිබඳ රජය ක්‍රියා කරනු දක්නට නොලැබේ. රෝගය නිසා සිදුවන මරණ සංඛ්‍යාව ඉහළයාමට මෙවැනි පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතු වූ බව ඉතාලිය වැනි රටවලින් උදාහරණ ලැබී තිබේ.

රෝගය පිලිබඳ අවදානම නොතකා මහ මැතිවරණය පැවැත්වීමට රජය සියලු උත්සාහ ගනිමින් සිටින බව තවමත් දක්නට ලැබේ. එමගින් පෙනී යන්නේ ජනතාවගේ ජීවිතවලට වඩා පාලකයින්ට තම බල ව්‍යාපෘතිය ප්‍රමුඛ වී ඇති බවයි.

මේ අනුව ජාතික විද්වත් සංවිධානය රජයෙන් පහත ඉල්ලීම් කඩිනමින් සිදුකරන ලෙස ඉල්ලා සිටියි.

  1. කොරෝනා මර්දන ව්‍යාපාරය ජාතික වැඩසටහනක් බවට පත්කර එහි වගකීම සෞඛ්‍ය හා ආපදා කළමනාකරණ අංශ වෙත ලබාදෙමින් එය සිවිල් ක්‍රියාවලියක් බවට පත්කිරීමට පියවර ගැනීම. ඒ සඳහා සියලු දේශපාලන පක්ෂවල සහ සිවිල් සංවිධානවල සහය ලබාගැනීම. කොරෝනා මර්දන අරමුදල ඵලදායී ලෙස රෝග මර්දන කටයුතු සඳහා විනිවිද පෙනෙන අයුරින් යොදාගැනීම.
  2. කොරෝනා වසංගතය තම දේශපාලන බල ව්‍යාපෘතියේ කොටසක් කිරීමත් ඒ සමග ජාතිවාදී ගිනි ඇවිලීමත් වහාම නතර කිරීම.
  3. අවිනිශ්චිත තත්වයන් යටතේ මහමැතිවරණයක් පවත්වා ජනතාවගේ ජීවිත අවදානමට ලක් නොකර තත්වය සමනය වනතුරු මහමැතිවරණය කල්දැමීම සහ ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරමින් ව්‍යවස්ථාවෙන් ඔහුට පැවරී අති බලතල අනුව නොපමාව කටයුතු කිරීම.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *