ආණ්ඩුවේ දූෂිතයෝ මැතිවරණ මංකොල්ලය ආරම්භ කරලා – තුෂාර ස්වර්ණතිලක

මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබියදී ආණ්ඩුවේ හිටපු මැති ඇමැතිවරු මැතිවරණ නීති අමුඅමුවේ උල්ලංඝනය කරමින් ප්‍රචාරක කටයුතු වල නිරත වන බව ජාතික සමඟ ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක, හිටපු පළාත් සභා මන්ත්‍රී, ජාතික හෙළ උරුමයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක තුෂාර ස්වර්ණතිලක මහතා පවසයි.
මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය ඇමැතිවරු තම ඇමැති ධූර අහෝසි වී තිබියදීත් ඇමැති බලතල පෙර පරිදිම භාවිත කරමින් රාජ්‍ය ආයතන වලට ගොස් ඒවායෙහි මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාර දියත්කරමින් සිටින බවද ඒ මහතා කීය. මහනුවර යටිනුවර පැවැති මාධ්‍ය හමුවකදී ස්වර්ණතිලක මහතා මේ බව පැවසුවේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද ප්‍රකාශ කළේය. “කොරෝනා හා ඩෙංගු කමිටුවලට පත්ව සිටින පොහොට්ටුවේ ඇතැම් පළාත් පාලන ආයතන නියෝජිතයින් මහමැතිවරණයට තරඟ කරන තමන්ගේ පක්ෂවල අපේක්ෂකයින් ප්‍රවර්ධනය කරනවා. කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම්වරිය විසින් කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කොරෝනා හා ඩෙංගු කමිටු වලින් ඉවත්කරලා තියෙන්නේ මේ හේතුව නිසයි.
කොරෝනා නිසා ජනතාවගේ ජීවිතවලට සිදුවිය හැකි බලපෑම නොතකා ආණ්ඩුව මැතිවරණය ඉලක්ක කරගනිමින් තමන්ගේ දේශපාලන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරමින් සිටිනවා. ආණ්ඩුව මේ විදිහට එක පාරටම රට විවෘත කළේ මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය පසුබිම සකස්කර ගන්නයි. මේ අයට අද ඕනවෙලා තියෙන්නේ ජන ජීවිතය සාමාන්‍ය අතට පත්ව තිබෙන බව මැතිවරණ කොමිසමට පෙන්වා දෙන්නයි. කොරෝනා වෛරසයෙන් රට බේරා ගැනීමට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ, ආරක්ෂක අංශයේ නිලධාරීන් විශාල කැපකිරීමක් කළා. ආණ්ඩුව දේශපාලන වුවමනාවට ගන්නා තීරණ නිසා අද මේ අයගේ මහන්සිය වතුරේ යන තත්ත්වයක් ඇතිවෙලා. රට විවෘත කරලා දින තුනක් ඇතුළත අපිට එහි පලවිපාක පේනවා. දුරස්ථ භාවය කොතැනකවත් රැකෙන්නේ නැහැ.බස් රථවල ගමන් කළ යුතු මගී සංඛ්‍යාව 25 ලෙස සීමා කළත් ප්‍රමාණවත් බස් රථ ප්‍රමාණයක් ධාවනයේ යොදවා නැහැ. ඒ නිසා ජනතාවට මහ මඟ රස්තියාදු වෙන්න සිද්ධ වෙලා. තැබෑරුම් සියල්ල විවෘත කළා. දැන් ජනතාව බිල්ලට දීලා හරි ආණ්ඩුවට ඕනවෙලා තියෙන්නේ සල්ලි. අපිට කනගාටුයි මේවා දැක්කම.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ධූරයට පත්ව පැවැත්වූ පළමු රැස්වීමේදීම ප්‍රතිඥාවක් දුන්නා සියලු ජනතාවට පොහොර නොමිලේ දෙනවා කියලා. අද ගොවීන්ට සල්ලි දීලත් පොහොර ගන්න බැරිවෙලා. රණවිරුවන්ව දේශපාලනඥයින් පාවිච්චි කරන්නේ ඒ අයගේ ප්‍රතිරූපය ගොඩනගන්නයි. අපි මැතිවරණය කල්දාන්න කියන්නේ ජනතාවගේ ආරක්ෂාව ගැන හිතලා. ජනපති ඉඳන් හැමෝම කටයුතු කරන්න ඕන රටේ ව්‍යවස්ථාවට අනුවයි. අද ඒකාධිපති ස්වරූපයෙන් ජනතා මුදල් වැය කිරීමේ උත්සහයක ජනපතිවරයා නියැලී සිටිනවා. පාර්ලිමේන්තුව රැස්කරලා මුදල් වැය කිරීමට අනුමැතිය ගන්න කියලයි අපි කියන්නේ. ඒ සඳහා අවශ්‍ය සහයෝගය අපි දෙන්නම්. ජනපති මේවන විටත් රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා ඉවරයි. නාමයෝජනා වෙනස් කරගන්න අපිට කිසිම වුවමනාවක් නැහැ. සමගි ජනබලවේගයට කිසිම අවශ්‍යතාවක් නැහැ රනිල් කණ්ඩායම සමඟ එකතු වෙන්න. මහින්ද රාජපක්ෂ මහතාගේ පැත්තට ගිහින් ඉඳගන්න ඒ අය ඕන වෙලාවක ලෑස්තියි. මේවන විටත් රනිල් කණ්ඩායම ගිවිසුමක් ගහලා ඉවරයි ආණ්ඩුවට සහය දෙන්න සූදානම් කියලා. රටේ ජනතාව ප්‍රතික්ෂේප කරන එජාප නායකත්වය සමඟ යළි එකතු වී නාම යෝජනා පත්‍ර අලුතින් සකස් කිරීමේ කිසිදු අවශ්‍යතාවක් අපට නැහැ.

ඉදිරි කාලය තුළ රට දැඩි ආර්ථික අර්බුදයකට ලක්වෙනවා.ආණ්ඩුව රුපියල් 5000.00 අල්ලස දීලා ඡන්ද දිනන්න පුළුවන් කියලා හිතනවා. උගත් බුද්ධිමත් පුද්ගලයෙකු ලෙස සමාජගත වෙන්න උත්සහ කරන ගම්මන්පිල තමන්ගේ කට නිසා ඒක නැති කරගන්නවා. චම්පික කියන්නේ වැඩක් කළහැකි වැඩක් කළ නායකයෙක්. මතවාදීව ඔහුව පරාජය කරනවා මිස මඩ ගහලා එතුමාට අපහාස කිරීම මේ රටේ ජනතාව අනුමත කරන්නේ නැහැ. ගම්මන්පිල කරන්නේ චම්පික ඇමැතිතුමාගේ නම වෙනස්කර කියමින් මෝඩ ආතල් ගැනීමක්. විපක්ෂය මැඩපැවැත්වීමට ආණ්ඩුව දැන් නැවත උත්සාහ කරනවා. ආණ්ඩුව බරපතල විදිහට විවේචනය කරන මන්ත්‍රීවරු අත්අඩංගුවට ගෙන මැතිවරණය තමන්ට ඕන විදිහට කරන්න මේ අය උත්සහ කරන්නේ. චම්පික ඇමැතිවරයාට කිසිදු පදනමක් නොමැති චෝදනා දැම්මා. දැන් රාජිත ඇමැතිවරයාව අත්අඩංගුවට ගත්තා. ජනපතිවරයාට ලැබුණු ජනවරම පාර්ලිමේන්තුවට අදාල කරගත යුතු නැහැ. ජනපතිට ලක්ෂ 69 ක් ඡන්දය දුන්නා කියා ආණ්ඩුව වෙනස් කරන්න ඕන කියලා කවුරුහරි කියනවා නම් ඒක පිළිගන්න බැහැ. එහෙනම් ඇයි මේ දෙකට මැතිවරණ දෙකක් තියන්නේ. ජනපතිවරණ ප්‍රතිඵලයෙන්ම පාර්ලිමේන්තුවත් පත්කර ගන්න පුළුවන්නේ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *