ආණ්ඩුවට බහුතරය ගන්න අමාරුයි – හකීම්
ජනපතිවරණයක් ජයගත් පමණින් ඊට පසු පැවැත්වෙන මහ මැතිවරණයද ජනපතිවරයා නියෝජනය කරන පක්ෂය විසින්ම ජයග්‍රහණය කරන බවට පවතින මතය නිවැරදි නොවන බවත් එසේ නොවුණු අවස්ථා කිහිපයක් මෙරට මැතිවරණ ඉතිහාසය තුළ තිබෙන බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක,සමඟි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක රවුෆ් හකීම් මහතා පවසයි. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය 1999 ජනපතිවරණය ජයගත් නමුත් ඊට පසු පැවැති මහ මැතිවරණයේදී ඇයට බහුතර බලයක් නොලැබුණු බවත් එලෙසින්ම 2015 ජනපතිවරණයෙන් පසු පැවැති මහ මැතිවරණයේදීද සිදුවූ බවත් ඒ මහතා කීය.
අදාළ අවස්ථා දෙකේදීම ආණ්ඩු පිහිටවනු ලැබුවේ වෙනත් පක්ෂ වල සහය ලබා ගනිමින් බවත් වත්මන් ආණ්ඩුව මෙවර මැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් ලබා ගන්නා බව කීවත් එය කිසිලෙසකින් හෝ යථාර්ථයක් නොවන බවත් හකීම් මහතා කීය. මෛත්‍රිපාල සිරිසේන ජනපතිවරයා මහින්ද රාජපක්ෂ මහතා 2015 මහමැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කළත් මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධූරය නොදෙන බවට සෙල්ලම් කිහිපයක් දැමූ නමුත් එක්සත් ජාතික පෙරමුණට බහුතරය ලබා ගැනීමට නොහැකි වූ බවද හෙතෙම පැවසුවේය. ජනපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්ද 69 ලක්ෂයක් ගත්තත් සමානුපාතික ඡන්ද ක්‍රමය තුළ මහ මැතිවරණයේදී ප්‍රතිපලය වෙනස් වන බවද මෙවර ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව සමඟි ජනබලවේගයට තිබෙන බවද හකීම් මහතා ප්‍රකාශ කළේය.
වසර 2010 දී යුද ජයග්‍රහණයත් සමඟ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මැතිවරණ වලින් ලබාගත් ජයග්‍රහණ සෙසු මැතිවරණ හා සැසඳිය නොහැකි බවද එම අවස්ථාවේ පැවතියේ සුවිශේෂි පසුබිමක් බවද ඒ මහතා පැවසුවේය.
දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළ යම් යම් අඩුපාඩු තිබුණත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වීමට අවශ්‍යය පදනම ඒ තුළ තිබෙන බවත් මේ නිසා එය අහෝසි කරන්නට උත්සහ කරනවාට වඩා එහි හරය තේරුම් ගැනීම වැදගත් බවත් හෙතෙම අවධාරණය කළේය. අද එක්සත් ජාතික පක්ෂයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්කර තිබෙන්නේ ප්‍රාදේශීය සභාවකටවත් තරඟකර ජයග්‍රහණය කළ නොහැකි පිරිසක් බවත් ඔවුන් දැන් සමඟි ජන බලවේගය හා එක්ව සිටින ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට දුරකතන මගින් කතාකර රැස්වීම්වලට එන ලෙස තර්ජනය කරන බවත් කී ඒ මහතා විනය පරීක්ෂණ තියා මේ අය පක්ෂයෙන් ඉවත් කිරීමට පෙර සමඟි ජනබලවේගයේ කණ්ඩායම එජාපයේ බලය අල්ලන බවද පැවසුවේය.