ආචාර්ය කුමාරවේල් ගුරුපරන්, වේදනාත්මක සමුගැනීමක නිහඬ හෘද සාක්ෂිය

යාපනය සරසවියේ නීති අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු හා පිඨාධිපති කුමාරවේල් ගුරුපරන් සිය විශ්ව විද්‍යාල ආචාර්ය පදවියෙන් ඉල්ලා අස්වීමට තල්ලු කිරීම, ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය තුළ පමණක් නොව, සමාජය තුළත් ප්‍රජාතන්ත්‍රවාදය භාවිතය වසා ගෙන ඔඩු දුවා ඇති පිළිකාවක වේදනාකාරි සංඥා නැවත මතු වීමකි.
යාපනය විශ්ව විද්‍යාලයේ අට වසරක සේවා කාලයක් සම්පුර්ණ කරන ආචාර්ය කුමාරවඩිවේල් ගුරුපරන් 2017 ජනවාරි සිට 2019 දෙසැම්බර් දක්වා නීති අංශයේ පිඨාධිපති ධුරය දැරීය. යාපනය හින්දු විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ඔහු කොළඔ සරසවියේ නීති පිඨයේ ආදි විද්‍යාර්ථියෙක් වෙයි. ඔහු ව්‍යවස්ථානුකූල නීතිය, නීති දර්ශනය, සමාජ ආර්ථික අයිතිවාසිකම්, මහජන ප්‍රතිපත්ති සහ ජාත්‍යයන්තර නීතිය පිළිබඳ විශාරදයෙක් ලෙස පිළි ගැනේ. ගුගුල් ස්කොලර් හි දක්වා තිබෙන තොරතුරු අනුව ආචාර්ය කුමා ගුරුපරන් 2013 සිට මේ දක්වා පර්යේෂණ පත්‍රිකා නමයක් පළ කොට තිබේ.
ඔහු විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අවසරය ඇතිව, සිය විශ්ව විද්‍යාල වගකිම් වලට සමගාමිව වෘත්තීය නීතිවේදියකු වශයෙන් ද කටයුතු කරන්නෙකි.13 හැවිරිදි දැරියක් සිය අසල්වැසියා විසින් අපයෝජනයට ලක් වි ගැබ් ගත් අවස්ථාවක ‘කළලය’ ගබ්සා කිරීමට අධිකරණයේ අවසරය පැතු විට, සංවර්ධනයේ නාමයෙන් ජල බැස්මක් අවහිර කළ විට, පෞද්ගලික සමාගමක් විසින් පරිසරයට තෙල් මුදා හරිමින් මහා පරිසර හානියක් කළ අවස්ථාවේත්, පශ්චාත්-යුදධ සන්දර්භය තුළ (යුද්ධයෙන් මිය ගිය තැනැත්තන්) අනුස්මරණය කිරීමේ අයිති වෙනුවෙන් පෙනී සිටි විටත්, භාෂණයේ, ප්‍රකාශනයේ නිදහසට හා සමාගමයේ නිදහසට සීමාවන් පනවන විට ඒවා අභියෝගයට ලක් කරන විටත්, පසුගිය දශක දෙක තුළම සිය අතුරුදහන් වු දරුවන් සොයන පියවරුන් දෙදෙනෙක් සහ එක් මවක් වෙනුවෙන් අධිකරණයේ පෙනි සිටිමින් රාජ්‍ය ප්‍රතිචාරය ඉල්ලා සිටි විටත් නීතිඥවරයෙකු වශයෙන් සේවය කිරීමෙන් තමාට ‘ සිය ජිවිතය පිළිබඳ තෘප්තියක්’ දැනුන අවස්ථාවන් කිහිපයක් යැයි සිය ඉල්ලා අස්වීමේ ලිපියෙහි ආචාර්ය කුමා ගුරුපරන් සඳහන් කරයි.
ආචාර්ය කුමා ගුරුපරන් සිය නීතිඥ වෘත්තීයෙහි නියැලුන පසු ගිය දස වසර තිස් අවුරුදු යුද්ධය නිසා පිඩනයට පත්ව අසරණව සිටින ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණය සහ සිවිල් අවකාශය තුළ පෙනී සිටින්නෙකි. ප්‍රජාතන්ත්‍රවාදි අයිතිවාසිකම් වෙනුවෙන් කරන අරගලයේ වැදගත් පුරුකක් බවට ඔහු පත් වන්නේ තමා තෝරා ගත් භූමිකාව කැප විමෙන් හා වගකීමෙන් ඉටු කරන්නෙක් වු බැවිනි.
නීතිඥ වෘත්තීය පිළිබඳ ඔහුගේ භූමිකාවට රතු එළිය දිස්වන්නේ 2019 ඔක්තෝබර් මස ශ්‍රි ලංකා යුද්ධ හමුදාව විසින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ගෙන් ලිඛිතව එවන ලිපියකිනි. එම ලිපිය හෝ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ඔහු වෙත යවන ලද ලිපි ප්‍රසිද්ධ කර නැති හෙයින් කවර හේතුවක් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ආචාර්ය ගුරුපරන් ගේ සේවය අත්හිටුවීමට ඉල්ලා සිටියේද යන්න දැන ගැනීමේ මහජන අයිතියට තවමත් විශ්ව විද්‍යාල සනාතන සභාව හෝ යාපනය විශ්ව විද්‍යාලය ගරු කොට නැත.
ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල විද්‍යාර්ථීන්ට විශ්ව විද්‍යාල පද්ධතිය තුල මෙන්ම ඉන් බැහැරවත් සිතිමේ හා හෘදය සාක්ෂියේ නිදහස මත පිහිටා අදහස් ප්‍රකාශ කිරීම නිසා අභියෝග වලට මුහුණ දුන් කටුක ඉතිහාසයක් අපට තිබේ. 1982 මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන් විසින් ‘ ධර්මිෂ්ට සමාජය’ පළ කළේය. එමඟින් ඒකාධිපතියෙක් වු ජේ.ආර්. ජයවර්ධන විසින් හඳුන්වා දුන් නව ලිබරල් ආර්ථික ක්‍රමයෙහි ශ්‍රි ලංකික සන්නාමය වු ‘ විවෘත ආර්ථික’ යෙහි හර පද්ධතිය නිර්දය ලෙස විවේචනය කළේය. මහාචාර්ය සරත්චන්ද්‍රයන්ට 1982 දි සිංහල බල මණ්ඩලය විසින් සංවිධානය කොට තිබු රැස්වීමක දි කථා කිරීමට කළ ආරාධනයක් මත එම වේදිකාවට ගොඩ වන විටම, අමානුෂික ලෙස පහරදි පලවා හැර, එම රුස්වීමද කඩාකප්පල් කොට දමන ලද්දේය.
සිංහල මෙන්ම දමිළ විද්‍යාර්ථින් අතරද ප්‍රචලිත ප්‍රකට උදාහරණය වන්නේ මහාචාර්ය සුචරිත ගම්ලත් සහ කථිකාචාර්ය ජයකොඩි අබේසිංහ ඔවුන් විසින් දරන ලද ‘ දේශපාලන අදහස්’ නිසා සේවයෙන් ඉල්ලා අස්වන තැනට වැඩ සැලැස්වීමයි.
මෙවැනි පසුබිමක ආචාර්ය කුමා ගුරුපරන් ගේ සිදුවීම පරික්ෂා කොට බලන විට ප්‍රජාතන්ත්‍රවාදි අවකාශය ශක්තිමත් කිරීමට සහ පුළුල් කිරීමට ක්‍රියාකරන්නන් ගේ අවධානයට යොමු විය යුතු කරුණු කිහිපයක් සැලකිල්ලට ගත යුතු වේ.
ඉන් එක් කාරණයක් වන්නේ විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මෙම තත්ත්වයට තල්ලු කරන්නේ ශ්‍රි ලංකා යුද්ධ හමුදාව විසින් වීමයි. අතීතයේදි එම කටයුත්ත කරන ලද්දේ දේශපාලනඥයින් විසිනි. ඔවුන්ට එම ඉඩකඩ විවෘත කර ගන්නේ 1966 අංක 20 දරන උසස් අධ්‍යාපන පනත මඟින් පිහිටුවන ලද ‘ජාතික උසස් අධ්‍යාපන කවුන්සිලය’ත් සමඟය.
එතැන් පටන් මේ දක්වාම සිය විද්වත්භාවය යට සඟවා ගත් දේශපාලන අනුගාමිත්වයක් විශ්ව විද්‍යාල පරිපාලන ව්‍යුහය තුල නිර්මාණය වි තිබේ. එහෙත් ආචාර්ය කුමා ගුරුපරන් සිද්ධියේදි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉල්ලීම මත ක්‍රියා කළා නම් එය භයානක අනතුරක පෙර නිමිත්තකි. අඩුම වශයෙන් ආචාර්ය කුමා ගුරුපරන් යම්කිසි නීතියක් උල්ලංඝණය කරන්නේ නම් ඒ සඳහා යුක්තිය පසිඳලිමේ ක්‍රියා මාර්ගයකට යා යුතුව තිබින. එවැනි සිවිල් ක්‍රියා මාර්ගයක් පිළිබඳව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සලකා බැලු බවක් නොපෙනේ.
අනෙක් කාරණය විශේෂයෙන්ම විශ්ව විද්‍යාල අධ්‍යයන ප්‍රජාවගේ සාමුහික නිහඬ බවයි. ආචාර්ය කුමා ගුරුපරන්ගේ සිදුවීම ප්‍රශ්න කරමින් කොළඔ විශ්ව විද්‍යාලයේ නීති පිඨයේ ආචාර්යවරුන් දෙපලක් විසින් 2019 නොවැම්බර් මස දි අයිලන්ඩ් පුවත්පත් ලියු ලිපිය හැර වෙනත් ආචාර්යවරුන්ගේ සංවිධාන වලින් ප්‍රතිචාරයක් වාර්තා නොවේ. සිවිල් සමාජය තුලින් ද
ලංකා ගුරු සංගමය විසින් පසුගිය සතියේ නිකුත් කළ මාධ්‍ය නිවේදනය හැර වෙනත් පියවරක් ගැන දැන ගන්නට නැත.
මෙම නිහඬබව ප්‍රජාතන්ත්‍රවාදි භාවිතයකට හිතකර පැවැත්මක් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය යනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අඩංගු වචන සමුහයකට හෝ පාර්ලිමේන්තුව, ජනාධිපති සහ කැබිනට් මණ්ඩලය හෝ අධිකරණය වැනි ආයතන පද්ධති තුලින් භාවිතා කළ යුතු සංකල්පයකට වඩා දෛනික ජිවිතයේ අභ්‍යාස කරන, අභ්‍යාස කළ යුතු සංකල්පයක් වේ. ඇතැම් විට බහුතරයක් සරසවි ඇදුරන් අධිකාරිවාදය වෙනුවෙන් පෙනී සිටිම තෝරා ගෙන තිබෙනවා විය හැකියි. ආචාර්ය කුමා ගුරුපරන් දමිළ පුරවැසියන් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දරන මතය සම්බන්ධයෙන් එකඟ නොවනවා විය හැකියි. නමුත් ඔහුට මෙන්ම අන් අයටත් සිය හෘද සාක්ෂියට අනුව මතයක් දැරීමටත්, භාවිතා කිරීමටත් තිබෙන අයිතිය කිසිවෙකුටත් අවතක්සේරු කළ නොහැක. තවමත් ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි විශ්වාසය තබන අයට සිය සේවා ස්ථානයේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය අවහිර කරන විට නිහඬව සිටීම තරම් තවත් අපරාධයක් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කරන්නට ඉතිරි වි නැති බව දැනේ.
බර්නාඩ් එදිරිසිංහ