ආගමන විගමන එක් දින සේවය, මහනුවර රට හොරු අල්ලයි

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මහනුවර කාර්යාලයෙන් එක්දින හා සාමාන්‍ය සේවාව යටතේ විදේශ ගමන් බලපත්‍ර සකස් කර දෙන බව පවසා තරුණ තරුණියන් ගෙන් රුපියල් 6000 සිට 50000 ක් දක්වා මුදල් ලබාගත් බව කියන පුද්ගලයින් තිදෙනෙකු පොලීසිය ඊයේ (11) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

එක්දින සේවාව යටතේ විදේශ ගමන් බලපත්‍රයක් සකස් කර දීම සඳහා දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ තරුණියක ගෙන් අත්තිකාරමක් ලෙස රුපියල් 25000 ක මුදලක් ලබා ගනිත්දී  විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණ සිට තරුණයින් පිරිසක් විසින් සැකකරුවන් අල්ලා ගනු ලැබ තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර ආගමන විගමන කාර්යාලයේ කළක් සේවය කළ බව කියන පුද්ගලයෙකුත් ත්‍රිරෝද රථ රියදුරෙක් සහ මාතලේ ප්‍රදේශයේ පංදිචි පුද්ගලයෙකුත් සිටින බව දැන ගන්නට ඇත.

එක්දින සේවාව යටතේ විදේශ ගමන් බලපත්‍රයක් සකස් කර දීමට රුපියල් 40000 ත් 50000 ත් අතර මුදලක් ද සාමාන්‍ය ක්‍රමය යටතේ විදේශ ගමන් බලපත්‍රයක් සකස්කර දීමට රුපියල් 6000 ක මුදලක් ද සැකකරුවන් ලබාගෙන තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.

එක්දින සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා සීමා සහිත ඉල්ලුම් පත්‍ර ප්‍රමාණයක් දෛනිකව නිකුත් කෙරෙන අතර එම ඉල්ලුම් පත්‍ර කිහිපයක් සැකකරුවන් විසින් කාර්යාලය තුළින් ලබාගෙන ඒවා මුදලට අළෙවි කර තිබෙන බව පරීක්ෂණ මගින් අනාවාරණය වී තිබේ.

විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් විශාල පිරිසක් දිනපතා පැමිණ පෝලිම් ගැසී සිටින බවත් වැඩි මුදලක් ගෙවා ඉක්මනින් විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමට කැමැති පුද්ගලයින්ට තම සේවය ලබාදෙන බවත් පොලිස් අත්අඩංගුවට පත් පුද්ගලයෙකු පැවසුවේය.

පෝලිමේ සිටින ජනතාවට නිකුත් කරන පෝරම කිහිපයක් කාර්යාලය ඇතුළතින් තමන්ට ලැබෙන බවත් එම පෝරමය ලබා දීමට සහ විදේශ ගමන් බලපත්‍රය සකස් කර දීමට අය කරන මුදල කිහිප දෙනෙකු අතර බෙදී යන බවත් ඔහු කිවේය.

එක්දින සේවය යටතේ විදේශ ගමන් බලපත්‍රයක් ලබා දීමට අය කරන රුපියල් 40000 මුදලින් රුපියල් 15000 ක් කන්තෝරුවේ සේවකයෙකුට ලබා දෙන බවද හෙතෙම පැවසුවේය.

විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා පෝලිම් සිට තරුණ පිරිසක් විසින් මෙම ජාවරම්කරුවන් පොලීසියට අල්ලා දීමෙන් පසු දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචි තරුණිය ගෙන් ලබාගත් රුපියල් 25000 ක මුදල ඔවුන් විසින් ඇයට ලබා දී ඇත.  අනතුරුව කිසිදු පරීක්ෂණයක් සිදු නොකර අදාළ පුද්ගලයින් තිදෙනා මුදාහැරීමට මහනුවර  ආගමන විගමන කාර්යාලයේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් නිලධාරීන් උත්සහ කර ඇති අතර එයට එම ස්ථානයේ සිට පිරිස දැඩි විරෝධය එල්ල කර තිබේ.

මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත හලංගොඩ මහතා ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ජාවාරමට මහනුවර ආගමන විගමන කාර්යාලයේ සේවකයින්ගේද සහය හිමිව තිබෙන්නේද පිළිබඳව පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.