අහිමි වීමට නොදී රැකගත යුතු සුන්දර උරුම, කඳුකර කොටි

මස්කෙළිය ගාඩ්මෝර් වතුයායේ දඹේතැන්න කොටසේ විශාල සබුක්කු ගසක අඩි විස්සක පමණ ඉහළින්වූ දෙබළක කොටියෙකු සිරවී සිටින බවට නල්ලතන්නිය වනජීවි කාර්යාලයට පසුගිය 19 දින පෙරවරුවේ වතු අධිකාරිවරයා ගෙන් දුරකතන ඇමතුමක් ලැබුණේ රටපුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙමින් තිබියදීය.මන්දකට අසුවූ බරපතල තුවල ලත් කොටියා මන්ද කඩාගෙන එහි කොටසක්ද සමඟ ගසට නැග තිබුණේ ගල්මුල් වලින් පහරදී ඌට හිංසා කරන්නට ගිය ප්‍රදේශවාසීන් පිරිසකගෙන් බේරීමටය.ඇඳිරි නීතියද නොතකමින් ගස පාමුලට රැස්වූ පිරිස් කෑකෝ ගසන්නට වූයෙන් ගස් දෙබළේ සිරවී සිටි කොටියා කලබලයට පත්ව ඉන් බැසීමට තැත් කළ අවස්ථාවේ මන්ද සඳහා යොදාගෙන තිබූ වානේ කේබලයේ කොටසක් අත්තක ඇමිණීම නිසා කොටියා උදර ප්‍රදේශයෙන් පහළට එල්ලෙන්නට වූයේය.දුරකතන ඇමතුම ලැබී පැය එකහමාරක පමණ කාලයකදී අදාළ ස්ථානයට ගිය වනජීවි නිලධාරීන් රන්දෙණිගල පශු වෛද්‍ය කාර්යාලයේ නිලධාරීන්ගේද සහය ලබා ගනිමින් මහත් පරිශ්‍රමයක් දරා පැය දෙකක පමණ කාලයකදී කොටියා පහළට ගනු ලැබුවේ නිර්වින්ධනය කිරීමෙන් පසුය.වනජීවි නිලධාරීන්ගේ උත්සහය ගඟට කැපූ ඉණි බවට පත්කරමින් ප්‍රතිකාර සඳහා රැගෙන යන අතරතුර කොටියා මරණයට පත්විය.මේ මෙම වසර තුළ කඳුකරය තුළින් වාර්තාවූ දෙවන කොටි මරණයයි.පසුගිය වසර පහ තුළ මෙලෙස මදු වලට හා වස මිශ්‍ර ආහාර අනුභව කිරීමෙන් කොටි 35 දෙනෙකු පමණ මියගොස් තිබෙන බව වනජීවි දෙපාර්තුමේන්තුව පවසයි.
විද්‍යාත්මකව කොටියා පැන්තරා පාර්ඩුස් කොටියා (Panthera pardus kotiya)ලෙස හඳුන් වනු ලබයි.ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන කොටි උප විශේෂය යාල,විල්පත්තුව,වස්ගමුව,ගල්ඔය,හෝර්ටන්තැන්න,නකල්ස්,හන්තාන,සිංහරාජය,ශ්‍රීපාද අඩවිය යන ප්‍රදේශවල දක්නට ලැබෙයි.බළල් කුළයට අත් කොළ දිවියා,හඳුන් දිවියා හා බළල් දිවියාට වඩා කොටියා පෙණුමෙන් විශාලය.ශරීරයේ පුල්ලි දක්නට ලැබෙන අතර හොඳින් වැඩුණු සත්වයෙකු කිලෝ 80 ක පමණ බරින් යුක්තය.අවුරුදු 25 ක පමණ ආයු කාලයකට හිමිකම් කියන අඩි හයක පමණ දිගකට වැඩෙන මෙම සත්ත්වයා වරකට දෙදෙනෙකු හෝ තිදෙනෙකු බැගින් ජීවිත කාලය තුළ පස් වතාවක් පමණ පැටවුන් බිහි කරන බව සත්ත්ව විද්‍යාඥයෝ පවසති.මෙරට කොටි ගහණය පිළිබඳ විධිමත් සංගණයක් මෙතෙක් සිදුකර නොමැති නමුත් වඳවී යෑමේ තර්ජනයට ලක්ව තිබෙන සත්ත්වයෙකු ලෙස නම්කර තිබීම තුළින් මෙම සතුන්ගේ විශාල ගහණයක් රට තුළ නොමැති බව තේරුම් ගැනීමට පුළුවන.

සංවර්ධන ක්‍රියාවලීන් නිසා දවසින් දවස වන ගහණය අඩු වෙනවා.මේ නිසා කැලයේ සිටින පරිසර ස්ථායිතාව ආරක්ෂා කරන්න ඉහළම කාර්යභාරයක් කරන විලෝපිතයා වන කොටියාගේ දඩ බිම සීමා වෙනවා.මදු වලට අසුව කොටි මරණයට පත්වීමේ සිදුවීම් බහුලව වාර්තා වන්නේ උඩරට කඳුකර ප්‍රදේශයෙන්.ශ්‍රී පාද රක්ෂිතය ආසන්නයේ තේ වගා භූමි විශාල ලෙස තිබෙනවා.මේවා නිසි පරිදි නඩත්තු නොවී වල්වදින විට රක්ෂිතයේ සතුන් මේවා තුළට ඇතුළු වෙනවා.කොටියෙක් තවත් කොටියෙකුගේ දඩබිම් සීමාවට ඇතුළු වන්නේ නැහැ.තමන්ගේ වන සීමාව කුඩා වනවිට ඒ සතා කරන්නේ ගම්මාන වලට වැදී පහසුවෙන් දඩයම් කළ හැකි බල්ලන්,බළලුන්,කුකුළන් වැනි සතුන් අල්ලා ගැනීමට උත්සහ කිරීමයි.වන සතුන් මස් පිණිස අල්ලා ගැනීමට දඩයම්කරුවන් විසින් අටවන මදු වලට කොටි අහුවෙන අවස්ථා තිබෙනවා.පසුගියදා මස්කෙළිය ප්‍රදේශයෙන් වාර්තා වුනෙත් ඒ වගේ සිද්ධියක්.ඇත්තටම කොටියා අධි ආරක්ෂිත සත්ත්වයෙක්.වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥාපනතේ 30 වන වගන්තියේ දෙවන උප වගන්තියට අනුව මෙම සත්ත්වයාට තුවාල සිදු කිරීම,ඝාතනය කිරීම වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගතහැකි වරදක්.සිර දඬුවම් සමඟ දඩ මුදල්ද නියම කිරීමේ බලය මහේස්ත්‍රාත්වරයෙකුට තිබෙනවා..පරිසරවේදී නීතීඥ ජගත් ගුණවර්ධන මහතා පවසයි.

පසුගිය වසර පහ තුළ නුවරඑළිය හග්ගල,නල්ලතන්නිය,කීර්ති බණ්ඩාරපුර,හෝර්ටන් ජාතික වනොද්‍යානය යන අඩවි වන කාර්යාල බල ප්‍රදේශ තුළ මරණයට පත්ව තිබෙන කොටි සංඛ්‍යාව තිස් පහකට ආසන්නය.නල්ලතන්නිය වනජීවි අඩවි ආරක්ෂක කාර්යාලය යටතේ පාලනය වන හැටන්,නාවලපිටිය,අඹුගමුව බල ප්‍රදේශ තුළින් මෙම වසර තුළ කොටි මරණ තුනක් වාර්තාවී තිබේ.මදු වලට අසුව තුවාල ලැබ සිටියදී එම නිලධාරීන් කොටි තිදෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට සමත්ව ඇත.වතු නිවෙස් වල සුරතලයට හා කෘෂිකර්මාන්ත කටයුතු වලට ඇති කරන සතුන් පහසුවෙන් දඩයම් කළ හැකි බැවින් කොටි ගම් වැදීමට පුරුදුවී සිටිනවා.ඌරන්,මුවන්,ගෝනුන් වගේ සත්තු අල්ලා ගැනීමට දඩයම්කරුවන් විසින් අටවනු ලබන මදු වලට කොටි අහුවෙනවා.මේ සතත් අහුවෙලා තියෙන්නේ ඒ වගේ මන්දකට.වානේ කම්බියක් යොදා සකස් කළ මන්ද සතාගේ පසුපස ගාත් දෙකට ඉදිරියෙන් උදරය වටා එතී සිරවී තිබෙනවා.එම කොටසත් සමඟ කොටියා ගසට නැග තිබෙන්නේ පිරිසක් ඌට ගල්මුල් වලින් පහරදී හිංසා කිරීම නිසයි.මිනිස්සු බයයි සතාගෙන් ඔවුන්ට කරදරයක් වෙයි කියලා.අපි සතා ඉන්න තැනට යන අතරතුර පශු වෛද්‍යතුමාට කතා කරලා තත්ත්වය කිව්වා.අපි යනකොට කොටියා කම්බියෙන් එල්ලෙමින් හිටියේ.ගහ ළඟට රුස්වෙලා හිටපු පිරිස් ඉවත් කරලා ඌට නිදහසේ ඉන්න පසුබිම සකස් කළා.ඊට පස්සේ හිමින් සීරුවේ කොටියා අත්තක් උඩට ගොඩවුණා.පශු වෛද්‍ය අකලංක පිනිදිය මහතා ඇතුළු කණ්ඩායම එනතුරු අපි සතා ඒ විදිහටම තියා ගත්තා.සතා හිටපු ඉරියවව් අනුව ඌට නිර්වින්දන එන්නත විඳීම අසීරු වුණා.පසුපස ගාත් වලට තමයි එන්නත විදින එක තමයි හොඳම.ඒත් මන්දට සිරවීම නිසා ඒවාහි රුධිරය ගමන් කිරීම සම්බන්ධ ප්‍රශ්න තිබුණා.පසුව අපේ නිලධාරියෙකු ගහට නැගලා දිග රිටක් ආධාරයෙන් සතාට නිර්වින්ද එන්නත් ලබා දුන්නා.ඊට පස්සේ ලණුවක් ගැටගහලා සතාව පහළට පාත් කළා.පහළ කණ්ඩායමක් ඉඳලා කොටියව දැලකට ගත්තා.මූලික ප්‍රතිකාර ලබාදී සතා පශු වෛද්‍ය රෝහල වෙත රැගෙන යන අතරතුර මරණයට පත්වුණා.කම්බියට සිරවීම නිසා කොටියගේ ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියන් වලට බරපතල හානි සිදුව තිබෙනවා.මන්දට අහුවෙලා ඉද්දී මින්ස්සු කලබල නොකළා නම් සතා ගහට නගින්නේ නැහැ.එහෙම වුණා නම් උගේ ජීවිතය බේර ගන්න අපට අවස්ථාවක් තිබුණා.අවුරුදු හතරක් පමණ වන කොටියා අඩි හතරක් පමණ දිග හොඳින් වැඩුණු ගැහුණු සතෙක්…වන සත්ත්ව අඩවි ආරක්ෂක සුභාෂ් කරුණාතිලක මහතා කීය.ඔහු සමඟ වන සත්ත්ව අඩවි සහකාර ඩී.ආර්.ඒ සම්පත්,වන සත්ත්ව නියාමකවරුන් වන කේ.එම් දමිත් බණ්ඩාර,ඩබ්ලිව්,එම් වියතුංග,ක්ෂේත්‍ර සහයක බී.අජිත් ශාන්ත,කමකරුවන් වන වයි.තන්ත්‍යාගු,ආර්.රාජේන්ද්‍ර,එස්.ශිවකුමාර් යන අය මෙම මෙහෙයුමට එක්ව ඇත.
මෙම සතාගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වූයේ වන ජීවි නිලධාරීන්ගේ නොසැලකිල්ල නිසා බවට ඇතැම් පරිසරවේදීන් විවේචන එල්ල කරමින් සිටින අතර ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කරුණාතිලක මහතා මෙසේ පැවසුවේය.කොටියා ගහනේ බිමට බෑවේ වැල ගෙඩියක් බානවා වගේ කියලා ඇතැම් අය කියා තිබුණා.උදරය වටා තිබුණු කේබල් එක රිලීස් කළේ නැහැ කියලත් චෝදනා එල්ල වුණා.රූපරාමු බලලා මෙහෙම විවේචන එල්ල කරන එක වැරදියි.අපි කේබල් එක කපලා තමයි සතාව වාහනේට ගෙනාවේ.ඒක ඇඟ වටේ එතිලා වගේ පෙනුනට දෙකට කපලා තිබුණේ.කොළඹ ඉඳලා සිද්ධියවූ ස්ථානය ගැන කිසිම අවබෝධයක් නැතුව ඕනම කෙනෙකුට විවේචන ඉදිරිපත් කරන්න පුළුවන්.නමුත් ප්‍රායෝගිකව කළ හැකිදේ මෙන්ම නොහැකි දේත් තිබෙනවා.මෙතන්ට බූම් එකක් අරන් ගහින් සතා බිමට ගන්න හැකියාවක් නැහැ.අපි මේ සත්තුනට ආදරෙයි.අපි සෑම විටම උත්සහ කරන්නේ සතුන්ගේ ජීවිත බේර ගන්නයි.දෙපාර්තුමේන්තුව සතු අවම පහසුකම් වලින් උපරිම ප්‍රයෝජන අරගෙන තමයි අපි රාජකාරී කරන්නේ..

මෙරට ගොඩබිම වාසය කරන විශාලතම මාංශ භක්ෂික සතා කොටියයි.මුවන්,වල් ඌරන් වගේ සත්ව ගහණය පාලනය වෙන්නේ මේ සතා නිසයි.විශේෂයෙන් තෘණ උලා කන සතුන්ගේ ගහණය වැඩිවන විට වනයට හානි සිදු වෙනවා.කොටි ගහණය අඩු වුණාම මේ සත්තු වැඩිවන ප්‍රමාණය පාලනය වන්නේ නැහැ.ඇත්තටම වනයේ සමබරතාව තියාගන්න ප්‍රබලම දායකත්වයක් ලැබෙන්නේ කොටියා ගෙන්.ගෝලීය වශයෙන් ගත්තොත් කොටියා අවධානමට ලක්ව සිටින සතෙක්.දේශිය වශයෙන් ගත්තොත් වඳවීයෑමේ තර්ජනයට ලක්ව සිටින සතෙක්.වසරකට අපේ රටේ කොටි හත් අට දෙනෙක් මේ ආකාරයට මරණයට ලක් වෙනවා.වනාන්තරවල සිටින මේ සතුන් ගම්මාන වලට පැමිණෙන්නේ ගම විසින් කැලය ආක්‍රමණය කිරීමේ ප්‍රතිපලයක් ලෙසයි.අපි මේ සත්තු ආරක්ෂා කරගන්න වැඩපිළිවෙළක් සකස් නොකර එකිනෙකාට චෝදනා කිරීමෙන් පලක් නැහැ.කිලෝ 80 ක් විතර බර සතෙක් අඩි 20 ක පමණ උසක් ඇති ගසක සිට වඩාගෙන පහළට ගේන්න බැහැ.වනජීවි නිලධාරීන්ගේ රාජකාරිය විවේචනය කරන්න කලින් අපි මෙතනදී ප්‍රායෝගික වෙන්න ඕන.සංවර්ධන කටයුතු නිසා වන ගහණය අඩු වීමත් වන සතුන් දඩයම් කිරීමට මදු ගැසීමත් කියන කාරනා දෙක ගැන අපි අවධානය යොමු කරන්න ඕන.මේ දෙක නිසා තමයි සතුන්ගේ ජීවිත වලට තර්ජනය ඇති වෙලා තිබෙන්නේ.මදු වලට අහුවෙලා තුවාල සිදු වුණාම සතාට විවිධ සංකූලතා ඇති වෙනවා.මුවන්,ඉත්තෑවන් වගේ සතුන්ටත් මේ තත්ත්වය ඇති වෙනවා.සත්තු මේ ආකාරයට අකාලයේ මරු වැළඳ ගන්නේ ඇයි කියන කාරනයට පිළියම් සෙවීම තමයි මේ මොහොතේ අති වැදගත්ම දේ ලෙස මම දකින්නේ…ජෛව සංරක්ෂණ මධ්‍යස්ථානයේ සභාපති පුබුදු වීරරත්න මහතා පවසයි.

කොටියාගේ මරණය සම්බන්ධයෙන් වනජීවි නිලධාරීන් හැටන් අධිකරණයට කරුණු වාර්තා කරමින් පරීක්ෂණ ආරම්භ කර ඇත.වන ගහණය සීඝ්‍රයෙන් පහත වැටෙත්දී ආහාර සොයා ගම් වදින කොටින්ගේ ජීවිත වලට තර්ජනයක් එල්ල වත්දී අනෙක් පසින් වනයේ සිටින කොටි පැටවුන්ගේ ජීවිත වලට වෙනත් සතුන් ගෙන් එල්ල වන තර්ජනද එන්න එන්නම වැඩි වෙමින් තිබේ.මෙම පසුබිම තුළ වයස අවුරුදු තුනක් හතරක් දක්වා කොටි පැටවෙකු වනය තුළ හැදී වැඩෙන්නේ දැඩි අවධානමක් සමඟිනි.තරුණ වයසට පැමිණ තනිව දඩයම් සොයා ගනිමින් තම වර්ගයාද බෝකරන්නට සමත් වයසට ආ කොටියෙකු මනුසතුන්ගේ නොමනා ක්‍රියා නිසා මේ ආකාරයෙන් අකාලයේ මරණයට පත්වීම ඇත්තෙන්ම ඛේදවාචකයකි.මෙය වලක්වා ගැනීමට බලධාරීන් ඉක්මන් ක්‍රියාමාර්ග නොගත හොත් කොටියා කඳුකරය හැරයන දිනය වැඩි ඈතක නොවන්නේය.