අසීරු අවස්ථාවක රට භාර ගත් රනිල්ට තුති – මැදගම හිමි මහනුවර ජාතික සංවිධාන එකමුතුවට කියයි

නිමල් කොළඹිස්ස – මහනුවර 

ජනතා සුබ සිද්ධිය, දේශපාලන ස්ථාවරභාවය හා ජනජීවිතය නගා සිටුවීම නව රජය මගින් කඩිනමින්  අපේක්ෂා කරන බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසයි.

ආර්ථික වශයෙන් අසීරු තත්ත්වයට පත්ව ඇති අවස්ථාවක අග්‍රාමාත්‍යධූරය භාර ගැනීමට  රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වීම සම්බන්ධයෙන් කෘතවේදී වන බව ද උන්වහන්සේ සඳහන් කළෝය.

අස්ගිරි මහ විහාර පාර්ශවයේ ලේඛකාධිකාරී හිමියන් මේ බව සඳහන් කළේ, මහනුවර ජාතික සංවිධාන එකමුතුවේ නියෝජිත පිරිසක් අද (16) උන්වහන්සේ  බැහැදැක නව කැබිනම් මණ්ඩලය පත් කිරීම සම්බන්ධයෙන් කළ දැනුවත් කිරීමේදී සිය අදහස් පළ කරමිනි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතා, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපීඨයේ ආචාර්ය සුමේධ වීරවර්ධන මහතා ඇතුලු විද්වත් කණ්ඩායමක් ලේඛකාධිකාරී හිමියන් බැහැ දැක නව කැබිනට් මණ්ඩලය පත් කිරීම සම්බන්ධයෙන්  සාකච්ඡාවක නිරත විය.

ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක රට වෙනුවෙන් ඉදිරිපත් වී නව අග්‍රාමාත්‍යවරයා ලබා දුන් පොරොන්දු ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරන බව කී ලේඛකාධිකාරී හිමියන්, මෙවැනි අසීරු අවස්ථාවකදී භේද භින්න ඇති වන වෛරී ප්‍රකාශ සිදු නොකර රට දියුණු කළ හැකි ක්‍රමවේදය පිළිබදව කල්පනා කළ යුතු යැයි කීවේය.

විදේශ ණය, විදේශ ආධාර ලබා ගැනීම මෙන්ම දේශපාලන වශයෙන් රට ස්ථාවර කිරීමේදී අන්තවාදී මත දරන ඇතැම් පක්ෂ විවිධ කොන්දේසි ඉදිරිපත් කරන බැව් දැනටමත් දැකිය හැකි යැයි ලේඛකාධිකාරී හිමියන් කීවේය. ඒ නිසා නව කැබිනම් මණ්ඩලය පත් කිරීමේදී රට සුභවාදී දිශානතිය කරා යොමු කළ හැකි මහජන නියෝජිතයන් සම්බන්ධ කර ගත යුතු යැයි ද උන්වහන්සේ අවධාරණය කළෝය.

ව්‍යවස්ථා සංශෝධනවලදී රට බෙදී වෙන්වී යන ක්‍රියාදාමයක් පවතින්නේ නම් එය වළක්වා ගැනීමට හැකි කැබිනට් මණ්ඩලයක් පත් විය යුතු යැයි පෙන්වා දුන් උන්වහන්සේ ඒ සඳහා සුදුස්සන් කඩිනමින් පත් විය යුතු බවත් කීවෝය. එසේ නොමැතිව පසුව තැන තැන හඩ නැගීම සාර්ථක විසදුමක් නොවන බව ද ඒ හිමියන් පෙන්වා දුන්නේය.

රට, ජාතිය හා සංස්කෘතිය සම්බන්ධයෙන් හැගිම් සහිත මහජන නියෝජියන් පාර්ලිමේන්තුව තුළ සිටින බව පෙන්වා දුන් පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන්, කැබිනට් මණ්ඩලයට පත්ව රට වෙනුවෙන් හඩ නැගීමට ඔවුන් ඉදිරිපත් විය යුතු යැයි ද පෙන්වා දුන්නේය.

අමාත්‍ය මණ්ඩලය පත් කර ගැනීමේදී බෙදුම්වාදයට නැඹුරු වන පුද්ගලයන් පත් නොකරගත යුතු යැයි පෙන්වා දුන් උන්වහන්සේ ජාතික සමගිය ඇති කොට රට ස්ථාවර කර ගත හැකි පිරිස් ඒ සඳහා යොදවා ගත යුතු යැයි ද කීවෝය.

දූෂණ වංචාවලට ලක් නොවුණු, එවැනි චෝදනා නොමැති, ජනතා විශ්වාසය රැකගත් නියෝජිතයන්ගෙන් කැබිනට් මණ්ඩලය පත් කිරීම වඩා උචිත බව ද උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දුන්නෝය.

මහාචාර්ය අතුල සේනාරත්න මහතා, ආචාර්ය සුමේධ වීරවර්ධන මහතා, ආචාර්ය සමන් කරුණාතිලක මහතා, වෛද්‍ය ජීවක බණ්ඩාර මහතා ඇතුලු පිරිසක් මෙම හමුව සඳහා සහභාගී වූහ

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.