අසරණකම් පහ කරන්න පහසුකම් ගමට යවන්න – වකුගඩු හඬා වැටෙන විල්ගමුවේ කතාව

උපේක්ෂා වීරසේකර

 “ තාත්තා වකුගඩු රෝගියෙක් විදිහට ම අපිව අතෑරලා ගියා..

  • දැන් වකුගඩු සායනයට යන්නේ පයින් .. ත්‍රිවිල් වල යන්න සල්ලි නෑ..
  • රුධිර පරික්ෂණවලට ලොකු මුදලක් යන නිසා අපි පරික්ෂණ කරන්නේ නෑ..
  • විල්ගමුව ගමේ හැම ගෙදරකම වගේ වකුගඩු ලෙඩෙක් ඉන්නවා…
  • බොන්න පුළුවන් වතුර ලීටරයක මිල රුපියල් හතරක්…

” මගේ තාත්තට වකුගඩු ලෙඩක් ආවෙ දැනට අවුරුදු දහයකට කලින්. එතකොට මම හිටියේ අටේ පන්තියේ. තාත්තට අසනීපයි කිව්වට මේ තරම් ගෙයි ඇතුලෙ ලොකු ප්‍රශ්න ඇතිවෙන ලෙඩක් තමයි තාත්තට හැදුනෙ කියලා මම දැනන් හිටියේ නැහැ.

තාත්තගේ කොන්දෙ අමාරුව හැදිලා කකුල් ඉදිමිලා කෑම කන්න පිරියක් නැති වෙද්දි අපි පුදුමයෙන් එයා දිහා බලාගෙන හිටියා.

අපේ ගමේ කීපදෙනෙකුටම මේ වගේ රෝග ලක්ෂණ මතු වෙනකොට අපි හැමෝම බය වුණා අපි ඒ දවස් වල වැඩිපුරම කාලය ගෙව්වෙ ඉස්පිරිතාලෙ.

තාත්තට පර්යේෂණ ගොඩක් කළා. වෛද්‍යවරු හරියටම ලෙඩේ හොයා ගන්න උත්සාහ කළා. උදේ දවල් රෑ නැතුව වෛද්‍යවරුන්ගෙන් අපි ඉල්ලා හිටියේ තාත්තගේ ජීවිතේ බේරා දෙන්න කියලා. ඒත් තාත්තා බේරගන්න ඒ කාටවත් බැරි වුණා. අන්තිමට අම්මයි අපි හතර දෙනයි අසරණ වුණා. 

අපේ පවුලේ මම වැඩිමල් දුව ෆාතිමා නෆ්රාස්. මට ඉන්නේ මල්ලිලා දෙන්නයි නංගියි. අම්මා රැකියාවකට ගියේ නැහැ ගෙදර ඉදලා අපිව බැලුවා තාත්තා තමයි රස්සාවක් කළේ . මුළු ගෙදරම නඩත්තු වුනේ එයාගේ වැටුපෙන්.

නමුත් තාත්තා ලෙඩ වුණ දවසේ ඉඳලා අපේ ගෙදර ආර්ථිකයට කණකොකා හැඬුවා. තාත්ත නැති උනාට පස්සේ අපි කබලෙන් ලිපටම වැටුනා. ගෙයින් එළියට ගිහිල්ලා වැඩක් කරගන්න පුරුදු නැති අම්මා අපි දිහා බැලුවේ හොඳටම අසරණ වෙලා. දෙදහස් දහසය දහහත විතර වෙනකොට තාත්ත වගේම අම්මත් ලෙඩ වුණා .

ඒ වෙනකොට මම උසස් පෙළ පන්තියේ ඉගෙන ගන්න අතරෙ හිටියේ. අම්මගේ නමත් වකුගඩු රෝගීන් කියන ඉස්පිරිතාලෙ නම් ලැයිස්තුවේ ලියා පදිංචි කරද්දි මට දරාගන්න බැරි වේදනාවක් ආවා. හැම මොහොතෙම මතක් උනේ තාත්තට සිද්ධ වෙච්ච දේ. ඒ විදිහටම අම්මත් අපිව අතහැරලා යයි කියන බය අපි හතර දෙනාටම එක වගේ දැනුණා. ඒ බය අදටත් අපට තියෙනවා. මම අවුරුදු විසි හතරක් වෙලත් තවම ඉගෙන ගත්ත දෙයක් මත රැකියාවකට ගියේ නෑ…

අපි අම්මගේ ජීවිතේ බේරගන්න නොකළ දෙයක් නැති තරම් . ඒත් මුදල් පහසුකම් යන්න එන්න තිබුන අපහසුතා වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න තිබුණ දුෂ්කරතාවය අපට ඉවසන්න බැරි පීඩනයක් වුණා…'”

ශ්‍රි ලංකාවෙ දුෂ්කරතම ගම්මාන ලැයිස්තුවේ කැපී පෙනෙන අර්බුද ඇති ප්‍රදේශයකි විල්ගමුව. පවුල් එක්දහස් හත්සිය යකට ආසන්න පිරිසක් පදිංචිව සිටින මෙහි හදුනා නොගත් වකුගඩු රෝගීන් ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ ලියාපදිංචි රෝගීන් සංඛ්‍යාව එක්දහස් අනූ හතකි. මධ්‍යම පළාතේ ප්‍රදේශ අතුරින් වැඩිම වකුගඩු රෝගීන් පිරිසක් වෙසෙන එකම ප්‍රදේශය විල්ගමුවය.

වකුගඩු රෝගය කොටස් දෙකකි. එකක් හදුනාගත් වකුගඩු රෝගය හෙවත් නිදන්ගත රෝග තත්ත්වයන් සහ හදිසි රෝග (සර්ප දෂ්ඨ ණ) මත ඇති වන වකුගඩු රෝගය. දෙවැන්න හදුනා නොගත් වකුගඩු රෝග හෙවත් කුමන සාධක මත වකුගඩු අකර්මන්‍ය වන්නේද යන්න මේ වනතුරු නිශ්චය කරගත නොහැකි වූ රෝගයය. හදුනා නොගත් වකුගඩු රෝගයේ භයානක බව රැදෙන්නේ , කලින් කලට රෝගීන් සංඛ්‍යාත්මකව ඉහළ යාම සහ එම රෝගීන්ගේ රෝග තත්ත්වයන් පාලනය කර ගැනීමේ අපහසුතා හමුවේ , රෝගීන් මිය යාමට ගොදුරු වීමය.

රොගය පැතිර යන්නේ කුමන සාධකයක් මත ද යන්න සොයා බැලීම සෞඛ්‍ය අංශයන්හි ජාතික මට්ටමේ වගකීමකි. රෝගය පාලනය කර ගැනීම සදහා වන විසදුම් කරා යාමට රෝගීන්ට ඇති අපහසුතා මගහරවා පහසුකම් සලසා දීමට මග සැලසීම පළාත් සහ ප්‍රාදේශිය සෞඛ්‍ය අංශවල වගකීමකි.

මාතලේ දිස්ත්‍රික්කයේ , විල්ගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ හදුනා නොගත් වකුගඩු රෝගීන් කලින් කලට වැඩිවන බව සාක්ෂි සහිතව ප්‍රකාශ කරන්නේ මහනුවර රෝහලේ වකුගඩු රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය නිශාන්ත නානායක්කාර මහතාය.

විශේෂඥ වෛද්‍ය නිශාන්ත නානායක්කාර

ඔහු පවසන පරිදි විල්ගමුවේ හඳුනා නොගත් වකුගඩු රෝගීන් සෞඛ්‍ය අංශ විසින් හඳුනා ගනු ලැබූයේ 2009 වසරේදීය වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින් සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ මැදිහත්ව පරීක්ෂණ පවත්වා රෝගීන් හඳුනා ගත් අතර මේ වන විට එම රෝගීන් සංඛ්‍යාත්මකව එක් දහස් පන්සීයක ට අධික පිරිසක් සිටින වග ඔහු කියා සිටියේය . විල්ගමුව ප්‍රාදේශීකයේ වකුගඩු රෝග සායනයක් පැවැත්වුවද එම රෝගීන්ගේ රෝග ස්වභාවය අනුව රෝගීන් වර්ගීකරණය කොට රුධිර කාන්දුකරණ ප්‍රතිකාර සඳහා වන රෝගීන් සහ නිරන්තර වෛද්‍ය අධීක්ෂණයට යොමු කළ යුතු රෝගීන් දඹුල්ලට සහ මහියංගණයට යොමු කිරීමට පියවර ගෙන ඇති බවද විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියේය.

සෞඛ්‍ය අංශයන්හි එම සැලසුම නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට නම් විල්ගමුවේ රෝගීන්ට මහියංගනයට සහ දඹුල්ලට යාමට ප්‍රවාහන පහසුකම් තිබිය යුතුය. තවද රෝගයේ ඇති බරපතලකම සහ ඊට මුහුණ දීම සඳහා සූදානම් විය යුතු අන්දම පිළිබඳව විල්ගමුවේ ජනතාවට පැහැදිලි ලෙස කරුණු දැක්වීමට අයෙකු සිටිය යුතුය හඳුනා නොගත් වකුගඩු රෝගී තත්ත්වයක් බැවින් තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය පවත්වා ගත යුතු අන්දම පිළිබඳ ඔවුන්ට පැහැදිලිව කියා දිය යුතුය . රුධිර පරීක්ෂණයක් කර ගැනීමේ ඇති වැදගත්කම සහ කලට වේලාවට නිසි ලෙස ඖෂධ ලබාගත යුත්තේ ඇයිද යන්න විල්ගමු වැසියන්ට කරුණු අවබෝධ කර දිය යුතුය.

නමුත් 2009 වසරේ සිට මේ දක්වා එවන් පැහැදිලි වැඩපිළිවෙලක් විල්ගමුවේ ක්‍රියාත්මක වී නැත. එහි ප්‍රතිඵල ලෙස ෆාතිමා ගේ මෙන් ම තවත් දූ දරුවන්ගේ මවුපියන් හඳුනා නොගත් වකුගඩු රෝගය හේතුවෙන් මෙලොව හැරදමා ගිය අවස්ථාවන් සාක්ෂි දරයි. දෙදහස් නවයේ සිට මේ දක්වා එලෙස මෙලොව හැරදමා ගොස් ඇති විල්ගමුවේ මිනිස් ජීවිත ගණන දොළහකි. 

තවදුරටත් රෝගීන් ලෙස ජීවත්වන විල්ගමු වැසියන්ගේ දුෂ්කරතාවයන් පිළිබඳ ව පනස් නව වියැති ආර් . එම් . ලීලාවතී මහත්මිය කියා සිටියේ මෙවැන්නකි.

” මගේ මහත්තයා ටී එම් සෙනෙවිරත්න එයාගෙ වයස අවුරුදු හැත්තෑ එකක්. මහත්තයට වකුගඩු ලෙඩේ හැදිලා දැනට අවුරුදු හයක්. ළමයි කසාද බැඳලා ගෙදරින් පිට ගිහින් අපි දෙන්න විතරයි ගෙදර ජීවත් වෙන්නේ. ඉස්සර යහමින් ගොවිතැන් කළත් දැන් මහත්තයට ගොවිතැන් කරගන්න මේ ලෙඩේ නිසා හයිය හත්තිය නෑ. දොස්තර මහත්තුරු කියනවා කිරි බොන්න මස් මාළු කන්න ගුණ දේවල් කන්න බොන්න කියලා. ගුණ දේවල් තියා බඩ පිරෙන්න දෙයක් වත් කන්න නැති තරමට අපි දැන් ඇදගෙන වැටිලා. මාසෙකට සැරයක් මහියංගනය ඉස්පිරිතාලෙට බෙහෙත් ගන්න යන්න ඕනේ .මහියංගනේ යන්න නං රුපියල් තුන් දහසක් හාරදහසක් වගේ ගානක් දැන් වැයවෙනවා සමහර බෙහෙත් ඉස්පිරිතාලෙ නැහැ එතකොට පිටින් ගන්න කියනවා ඒව ඉස්සරට වඩා ගිනි ගණන්. හැම සැරේකම වගේ ලේ බලාගෙන එන්න කියනවා. ලේ පරීක්ෂණ කරන්නත් සිද්ධ වෙන්නේ වැඩිපුරම සල්ලි ගෙවලා. ඒවට සල්ලි නැති උනහම අපි කරන එකම දේ මේ පරීක්ෂණ නොකර ඉන්න එක. එහෙම වෙලාවට මෙහේ තියෙන සායනයට ගිහිල්ලා බෙහෙත් ඉල්ල ගන්නවා. ඉස්සර නං හෙට්ටිපොළ ඉස්පිරිතාලෙට යන්න ත්‍රීවිල් එක්කට ගත්තෙ රුපියල් සීයයි දැන් රුපියල් තුන්සිය යි. ඒ නිසා අපි යන්නේ පයින්. සායනයට ගිහින් ආව දවසට කෙලින් ඉන්න බැරි තරම් මහන්සි මහත්තයා තනියෙන් යවන්න බැරි හින්ද මම ගියාට මටත් ඇස් ලෙඩක් හැදිලා ඇඟපතට හරි අමාරුයි

මේ විල්ගමුවේ අමුණු යාය හෙට්ටිපොළ ගමේ අපි වතුර බොන්නේ හරි බයෙන්. කට්ටියක් කියනවා වතුර නිසා වකුගඩු ලෙඩ හැදෙනවා කියලා තවත් කට්ටියක් කියනවා කෘමිනාශක නිසා හැදෙනවා කියලා අපි ගොවියෝ වතුරයි කෘමිනාශක මැද්දේ ජීවිත සටන ගෙනියනවා විනා අපි වෙන මොනවා කරන්නද.? දැන් අපි බොන වතුර ගන්නේ ලීටරයක් රුපියල් හතර ගානේ සල්ලි ගෙවලා. එහෙමත් නැත්තං බයිසිකලේ හරි විල්බැරැක්කවල හරි දවස් දෙකකට සැරයක් ඉස්කෝලෙට ගිහින් වතුර කෑන් අරගෙන එනවා. ඉස්කෝලේ තියෙනවා වතුර පෙරළා බෙදලා දෙන ක්‍රමයක්. ජීවත් වෙනවා කියන්නේ මරණය එක්ක පොර බදිනවා දැනෙන පෙනෙන එකක් කියලා අපිට හිතෙනවා..,”

විල්ගමුව ප්‍රාදේශිකයේ ගම්මාන වල වෙසෙන මිනිසුන් කුගඩු රෝගීන් ද යන්න විශේෂඥ වෛද්‍ය පරීක්ෂණයකට ලක් වන්නේ මාස තුනකට වරකි. මාස තුනකට වරක් රෝගීන් හයත් දහයත් අතර සංඛ්‍යාවක් නව රෝගීන් ලෙස හඳුනාගන්නා බව විශේෂඥ වෛද්‍ය නිශාන්ත නානායක්කාර මහතා කියා සිටියේය. මේ වන විට විල්ගමු වැසියන්ට රුධිර පරීක්ෂණ සිදු කර ගැනීම සඳහා ෂධ ලබාගැනීම සඳහාත් රජයේ රෝහල්වලට අමතරව පුද්ගලික අංශයේ සේවා ව්‍යාප්ත කොට ඇති බවද පෙනෙන්නට තිබේ. එහෙත් පුද්ගලික අංශයන්ගෙන් සේවාව ලබා ගැනීම සඳහා මෙම ගොවි පවුල් වල ජනතාවට ආර්ථික හැකියාවක් නැත. එහෙයින් සිදුවන්නේ රෝගීන් තම රෝගය පිළිබඳ නොසලකා හැරීමය. ඒ වග සනාථ වන්නේ මුණ යාය ගමේ හැත්තෑ තුන් හැවිරිදි කහවත්තේ ගෙදර කේ ජී ප්‍රේමසිරි මහතාගේ ප්‍රකාශයෙනි.

” මට වකුගඩු ලෙඩේ හැදුනෙ 2008 දි විතර. ලොකු පුතා මාව කොළඹ අරන් ගිහිල්ලා ලෙඩේ ගැන හොයා ගත්තා. ඉන්පස්සෙ කොළඹින් නුවර ස්පිරිතාලෙ ට මාරු කරලා එව්වා නුවර අවුරුද්දක් විතර බෙහෙත් ගත්තා. යාම ඒම අපහසු නිසා නුවර ඉස්පිරිතාලෙ මයියංගණයේ ඉස්පිරිතාලෙට මාරු කරා. මහියංගනය තියෙන්නත් ලේසි නෑ යන්න එන්න වාහනයක් නෑ බස් එකක් නෑ. ඒ නිසා අවුරුදු දෙක තුනක් මහියංගනයෙන් බෙහෙත් තරම් හෙට්ටිපොළ ඉස්පිරිතාලෙට පොත මාරු කරලා දුන්නා . අමුණුයාය ගමේ වකුගඩු ලෙඩ්ඩු බොහොම වැඩියි. ඒ ලෙඩ්ඩු අතරින් බොහොමයක් දෙනාට තියෙන්නේ මහියංගනය ඉස්පිරිතාලෙට හරි දඹුල්ලට හරි යන්න බැරි අපහසුතා තමයි. දැන් දැන් නං කාගේ අතෙත් සල්ලි නැති තරම් මොකද මෙහෙ ඉන්න හැමෝම වගේ ගොවියෝ කුඹුරු කරන්න බෙහෙත් පොහොර නැති නිසා කුඹුරු දැන් පිට්ටනි වෙලා ඒ මදිවට කෘමිනාශක නිසා වකුගඩු ලෙඩ වැඩි වෙනවා කියලා බයට මිනිස්සු ගොවිතැන අතෑරලා. බෙහෙත් ගන්නවා තියා විල්ගමුවේ මිනිස්සු කන්නෙත් අමාරුවෙන් .බෙහෙත් ගන්න වත් ලේ පරීක්ෂණයක් කරගන්නවත් මිනිස්සු අතේ සල්ලි නෑ නොමිල කරගන්නටනං දඹුල්ලට හරි මයියංගනයට හරි ඉන්න ඕනේ. ලෙඩේ කොච්චර තිබ්බත් සල්ලි නැති නිසා මිනිස්සු තමන්ගේ ලෙඩේ ගනං ගන්නැති තැනට අද පත්වෙලා.”

මේ මිනිස්සු න්ගේ ජීවිතවල වගකීම ඇත්තේ මේ රට පාලනය කරන බලධාරීන් අතය. රාජ්‍ය නිලධාරීන් අතය. සෞඛ්‍ය අංශ මතය. එහෙත් මධ්‍යම රජයෙන් බෙදී යන පහසුකම් පළාත් මට්ටමෙන් ප්‍රාදේශීය ව නිසි ලෙස බෙදී නොයා මේ ව්‍යාකූලත්වය මත විල්ගමුවේ වැසියෝ ජීවිතයත් මරණයත් අතර අදටත් සටන් වදිති. විල්ගමුවේ ප්‍රාදේශීය ලේකම්වරයා වන තුසිත උදේශ දිසානායක මහතා පවසන පරිදි මේ මිනිසුන් වෙනුවෙන් රජය මාසිකව රුපියල් 5000 ක මුදලක් බෙදා දෙනු ලබයි ඉන් අමතරව අයවැය ගැටලු නැති කලට බීමට ජලය බවුසර් මගින් බෙදා හරියි. 

වෛද්‍ය පසන් ජයසිංහ

” ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමෙන් වකුගඩු රෝගීන් වෙනුවෙන් කළ හැකි උපරිම සේවාව ලබාදීමට මම කටයුතු කරනවා මේ මිනිස්සු ප්‍රතිකාර ලබාගන්න දඹුල්ලට මයියංගනයට හෝ හෙට්ටිපොළ ට යන්න සිද්ධවෙලා රුධිර කාන්දුකරණය සඳහා වන රෝගීන් සමහර දෙනා සතියට දෙවතාවක් පවා යන අවස්ථා තියෙනවා රෝගීන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙන බව අපට පෙනෙන්නට තිබෙනවා කලට වෙලාවට රු.5000 ලබාදෙන්න මම කටයුතු කරනවා මොකද ඒ මුදලෙන් බත් ප්‍රතිකාර ගන්න හැකියාවක් ඒ මිනිස්සුන්ට ලැබෙයි කියලා මං විශ්වාස කරනවා රෝගී ව්‍යාප්ත වන්නේ කුමන හේතුවක් මත යන්න තවම නිශ්චය කරගන්න හැකිවෙලා නැහැ හඳුනානොගත් වකුගඩු රෝගයේ කිවුවහම කුමන සාධක මත එය සිදුවෙනවාද යන්න කොහෙත්ම හිතන්න බැහැ. නමුත් පානීය ජලය ලබාදීමේ වැඩසටහන හැකි සෑම අවස්ථාවකම ක්‍රියාත්මක කරන්න මම කටයුතු කරල තියෙනවා ආරෝපිත හෙවත් ජල පිරිපහදු වෙන් බීමට ජලය සැපයීමේ ක්‍රමවේදය සඳහා ජනාධිපති කාර්ය සාධක බලකාය මුදල් වෙන් කරලා තිබුණා . මේ වගේ සේවය කෙසේ හෝ ජනතාවට ලබාදෙන්න මම කටයුතු කරන වා….”ප්‍රාදේශීය ලේකම්වරයා කියා සිටියේ ය.

විල්ගමුව කේන්ද්‍ර කරගනිමින් එහි රෝගීන් ගේ වෛද්‍ය වාර්තා ප්‍රතිකාර ලබා ගන්නා පිලිවෙල ඊට ඇතුළත් වන සෙසු සාධක පිළිබඳව පාදක කරගනිමින් විශේෂඥ වෛද්‍ය වසංගත වේදඥ පසන් ජයසිංහ මහතා පර්යේෂණ වාර්තාවක් සකස් කොට තිබුණි. ඊට අදාලව එහි සනාථ වී ඇති පරිදි විල්ගමුවේ වෙසෙන පිරිසෙන් සියයට හැත්තෑ අටක්ම දරිද්‍රතාවයෙන් පෙළෙති. තවඳ එම රෝගීන් අතරින් සියයට හැටක් පිරිමි පුද්ගලයින් බව ද ෛද්‍යවරයාගේ පර්යේෂණයෙන් සනාථ වී තිබේ. සියලු රෝගීන් අතුරින් බහුතරයක් දෙනා ගමන් වියදම් අපහසුතා සහ ගමනාගමන අපහසුතා නිසා සායන මග හරින බවට ද සනාථ වී තිබේ. අපහසුතා මධ්‍යයේ සායන වෙත යන රෝගීන් කට ආසන්න වේලාවක් එහි රැඳෙමින් තුටුදායක ප්‍රතිකාර නොලබා ආපසු නිවෙස් කරා ආ බවට ද කරුණු අනාවරණය වී තිබිණි.

ඒ සියල්ල හමුවේ අනාවරණය වූ කරුණු අතර රෝගී පිළිබඳ සත්‍ය හෝ නිශ්චිත ව දැනගත යුතු කරුණු පැහැදිලි කර ගැනීමට සෞඛ්‍ය අංශවල කිසිවකුත් ඉදිරිපත් නොවූ බවටත් වෛද්‍ය වාර්තාව ලෙස හා රුධිර පරීක්ෂණ වාර්තා වල ඇති වැදගත්කම දාදීමට අයෙකු නොමැති බවත් පැහැදිලි වේ වෛද්‍ය වාර්තා සහ ඖෂධ ලබා ගැනීමේදී ඇතිවන තත්ත්වයන් පිළිබඳ රෝගීන් දැඩි කනස්සල්ලෙන් පසුවන බව ද ඊළඟ සායන වාර හෝ වෛද්‍යවරයා මුණ ගැහීම පිළිබඳ පැහැදිලි දැනුමක් ඇතිව ආපසු නිවෙස් කරා නො යන වග ද කරුණු අනාවරණය වී තිබිණි.

පසන් ජයසිංහ වෛද්‍යවරයාගේ අනාවරණ වාර්තාවට අනුව දහස් ගණනක් රෝගීන් අතරින් දෙසිය දෙනෙකුගේ තොරතුරු කරුණු මතුකර ගැනීමටද සහ ගෙන් ඇති සෙයක් දක්නට ලැබිණි.

කී සියලු කරුණු මත රැඳෙමින් දියුණු රටවල සෞඛ්‍ය අංශයන්හි කාර ක්‍රමවේදයන් අනුගමනය කරමින් ප්‍රධාන නගරාශ්‍රිත රෝහල් වලට සාපේක්ෂව ප්‍රාදේශීය ග්‍රාමීය රෝහල් වෙත ප්‍රතිකාර නිසි ලෙස ලබාදීමේ වැඩපිළිවෙලක් යෝජනා විය. රජයේ 

රෝහල් සියල්ල තුළින් ග්‍රාමීය පොදු මහජනතාවට සී ප්‍රතිකාර ලබා ගැනීමේ මං පාදා දීමට අවශ්‍ය වැඩපිළිවෙලවල් ද යෝජනා වීය.

ඒ අනුව රජයේ මැදිහත් වීම මත රුධිර පරීක්ෂණ සිදු කිරීමේ ක්‍රමවත් වැඩපිළිවෙළක් විල්ගමුව ට අවශ්‍ය ව ඇත. ඒ සඳහා විල්ගමුව වකුගඩු රෝග සායනයේ දී ම පරීක්ෂණ පවත්වා දීමට හැකි අයුරින් රජයේ ප්‍රතිපාදන මෙන් කර දීමට බලධාරීන් කටයුතු කල යුතුය.

හඳුනා නොගත් වකුගඩු රෝගීන්ගේ ජීවිත රැක ගැනීම වෙනුවෙන් රෝගය පාලනය කිරීම වෙනුවෙන් ලබා දිය යුතු ඖෂධ බාහිර ඖෂධ හල් වලට නියම කරනවා වෙනුවට විල්ගමුව වකුගඩු සායනයෙන් හෝ ඒ ආසන්න රෝහල් වලින් ලබා ගැනීමට අවශ්‍ය ක්‍රමවේද සැකසිය යුතුය. අතිශයි වැදගත් වන තවත් ප්‍රධානතම කාරණයක් වන්නේ රෝගීන්ට ඔවුන්ගේ රෝගී තත්ත්වයන් පිළිබඳව සහ රෝගීන් වැළැකී සිටීමට ඔන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කරගැනීමට අවශ්‍ය පුළුල් දැනුම ඒ පුද්ගලයින්ගේ දැනුවත්භාවය මත දැනුවත් කිරීමට අවශ්‍ය නිලධාරීන් කිහිප දෙනකු පත් කර ගනිමින් රෝගීන්ට වකුගඩු රෝග පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීමට වැඩසටහන් හඳුන්වා දීමය. ඒ සඳහා උපාධිධාරීන් ලෙස පත් කරගත් නවක පත්වීම් සහිත පුද්ගලයෙක් පුහුණු කර යෙදවිය හැකිය. විශේෂඥ වෛද්‍ය සහය ඇතිව කුගඩු රෝගීන් කලින් හඳුනා ගැනීමට අවශ්‍ය පියවර සැලසුම් සහගත ලෙස යාවත්කාලීන කළ හැකිය එහි වැදගත්කම වන්නේ වකුගඩු රෝගියාගේ වකුගඩු අකර්මණ්‍යතාවය හෝ රෝගියෙකු ලෙස හඳුනා ගැනීමේ අවස්ථාව නිර්ණය කරගත හැකි වීමය මන්ද ඒ ඒ අවස්ථාවන් අනුව ජීවිතය රැක ගැනීමට ප්‍රතිකාර ලබාදිය යුතු ක්‍රමවේද විවිධය. විශේෂඥ වෛද්‍ය නිශාන්ත නානායක්කාර මහතාගේ අදහසට අනුව රෝගියාගේ රෝගී තත්ත්වයන් පිළිබඳ දැඩි අවධානය යොමු කළ විට ඒ ප්‍රතිකාර අවස්ථාවන්හිදී කඩිනමින් රෝගියා ගේ සෞඛ්‍ය තත්ත්වය රැක ගත හැකි වනු ඇත. 

මාසික සායන හෝ රුධිර කාන්දුකරණය සඳහා හෝ වකුගඩු බද්ධ කිරීමට නියමිත රෝගීන් සඳහා වූ මහියංගණය දඹුල්ල හෝ වෙනත් රෝහල් කරා නිසි කලට වේලාවට යාම පිණිස ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ට යෝජනා කරමින් ප්‍රවාහන පහසුකම් සැපයීමට අවශ්‍ය කටයුතු යෙදීම තවත් යෝජනාවකි. ඒ පිළිබඳව වෛද්‍ය පසන් ජයසිංහ මහතාගේ වාර්තාවේ විසඳුම් සහ යෝජනා ලෙස ඉදිරිපත් කොට තිබිණි. මේ සඳහා ප්‍රාදේශීය ලේකම්වරයාගේ ද අවධානය යොමු කළ හැකිය.

මේ සියලු සැලසුම් රජයට කළ නොහැක්කක් නොවේ. අවශ්‍ය වන්නේ ඉතා සැලසුම් සහගත ලෙස ම සැලසුම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දායකත්වය සැපයීම පමණකි.

එලෙස විල්ගමුවේ වකුගඩු රෝගීන්ගේ ගැටලු හමුවේ කළ හැකි විසඳුම් ලබාදීමට රජය කටයුතු කළේ නම් පාතිමා ගේ පියා ඇතුළු මියගිය සෙසු පිරිස ද තවත් වසරක් දෙකක් හෝ තුනක් ජීවත් ව තම පවුලේ වගකීම් ඉටු කරනු ඇත. දැන් කටයුත්තේ ෙසු දහස් ගණනකගේ ජීවිත ආරක්ෂා කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලවල් යොදවා ඒ ඒ පවුල්වල සාමාජිකයින්ගේ ජීවන අරගලයටත් ජීවිතය සහ මරණය අතර සටනට කොමාවක් හෝ තැබීම ය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *