අවුරුදු තුනකට පස්සෙ RTI ගැන කතා තුනක්

බලයෙන් පිට මං කරනු ලැබූ යහපාලන රජය දියත් කළ ව්‍යාපෘති අතර වඩාත් ජනහිතකාමී සහ ප්‍රගතිශීලී කඳවුරට සදානුස්මරණීය මෙන්ම ආස්වාදජනක යමක් වේ නම් ඒ තොරතුරු දැනගැනීමේ අයිතිය හඳුන්වා දීමයි. 2015 ජනවාරි 08 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධූරයෙහි ඔසවා තැබීමේ සටන් ව්‍යාපාරය තුළ මැදහත් ජනයා දිනාගැනීමට සිවිල් සමාජ ව්‍යාපාර භාවිතා කළ එක් ටූලයක් වුණේත් තොරතුරු අයිතිය. ඊට පෙර පුද්ගලික මන්ත්‍රී යෝජනා ලෙස තොරතුරු අයිතිය සම්මත කිරීමට අදාල පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ නමුත් තුනෙන් දෙකක බලයක් සහිතව පැවති ආණ්ඩුව ඒවා අහක දැමීමට ක්‍රියා කළේ සරදම් සහගතව. ඒ සරදම් සහගත ඉවත හෙළීම්වලට පිළිතුරු ලෙසින් 19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස නිර්ණය කරන්නට පියවර ගැනුණු අතර පත් වූ ආණ්ඩුව කෙසේවෙතත් පනත කෙටුම්පත් කරන්නට දායක වූවන්ගේ කැපවීම මත ජාත්‍යන්තර ශ්‍රේනිගත කිරීම්වල තෙවැනි හෝ සිව්වැනි තැනට සුදුසුකම් ලබන්නට තරම් වන පනතක් ලක් පුරවැසියන්ට හිමි වුණා. ඒ 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත.
හරිම බලගතු පනතක්
ඇතැම්විට නිදහසින් පසු මෙරට පාර්ලිමේන්තුව හෝ ව්‍යවස්ථා අධිකාරිය සම්මත කළ පුරවැසියා වෙනුවෙන් වන බලගතුම හෝ එකම නීතිය ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත හඳුන්වා දීමේ වරදක් නැහැ. ඊට හේතුව නීතිය වනාහී පුද්ගලික දේපොල රැකගැනීම උදෙසා ධනවාදය විසින් නිර්මාණය කරන ලද යාන්ත්‍රණයක් බව කියවෙන ප්‍රවාදයක්ද තිබීම. කොහොම නමුත් දැන් රටේ මිනිස්සුන්ට මේ පනතේ බලය පාව්චිචි කරලා තමන්ට සමෘද්ධිය ලැබිලා නැත්තෙ ඇයිද කියන කාරණය වගේ පුංචි දේක ඉඳලා ආණ්ඩුවේ අහවල් ආයතනයට පත්කළ සභාපතිගෙ සුදුසුකම් මොනවද? අහවල් ටෙන්ඩරයට අදාලව අයදුම්පත් දැම්මෙ කවුද වගේ කාරණා අහන්න පුලුවන්. මේ සියල්ල සඳහා පසුබිම සැකසුණේ 2017 පෙබරවාරි 03 වෙනිදා පනතට අදාලව තොරතුරු ඉල්ලීම සඳහා නියෝග, රීති ආදිය ගැසට් වුණාට පස්සෙ. එහෙම බැලුවම කථානායක තුමා අත්සන් කරලා 2016 අගෝස්තු 04 වෙනිදා ඉඳලා පනත බල ගැන්විලා තිබ්බට අපිට ඒකෙන් වැඩ ගන්න ලැබෙන්නෙ 2017 පෙබරවාරි 04 වෙනිදා ඉඳලා. ඉතිං එදා ඉඳලා මේ පනතේ පස්වැනි වගන්තියෙන් සීමා කෙරුණු තොරතුරු හැර සෙසු සියල්ල ඕනෑම පුරවැසියෙකුට ලබාගන්න පුලුවන් බව ඔප්පු වෙලා තියෙනවා. ඒ සමහර වෙලාවට තොරතුරු කොමිසමට පවා ගිහිල්ලා. ඒ වුණාට මොකද ඉතිං කාරිය කෙරෙනවනෙ.
සමහර තැන්වල ලැදියාවන් පිළිබඳ ගැටුම් එහෙම තිබ්බ අවස්ථාත් නැතිව නෙවෙයි. ඒ වාගෙ කාරණා මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන, මේ ලියුම්කරු වන මං පවා කොමිසමට පෙන්වලා දීලා තොරතුරු අයිතියේ සුජාත බව තහවුරු කරලා තියෙනවා. ඉතිං මේ ලිපියෙන් අර පස්වැනි වගන්තියේ සීමාවන් නැත්නම් ඉල්ලන්න බැරි තොරතුරු ගැන කියන්නෙ නැහැ. මොකද ඒවා සාමාන්‍ය පුරවැසියන් වන අපිට එදිනෙදා වැඩවලට අදාල නැති අනික රට ගැන හිතනවනම් දෙන්න බැරි තොරතුරු නිසා. හැබැයි ඒවා වුණත් මහජන යහපත ප්‍රමුඛ වෙනවානම් දෙනවද නැද්ද කියලා තීරණය කරන්න කොමිසමට හරි ඉහළ උසාවිවලට හරි පුලුවන්. අනික මේ පනත හරිම බලවත්. ඒකනේ අර ආයතන සංග්‍රහයේ තියෙන “ඇතුළෙ ගිනි පිටට දෙන්ඩ බෑ” වගේ කතා යට ගියේ. ඉතිං කාටහරි වුවමනා නම් පනතෙ හැටියට ඉල්ලන්න බැරි හෝ පුලුවන් තොරතුරු ගැන දැනගන්න කොටිම්ම කියනවා නම් අර පස්වැනි වගන්තිය ගැන දැනගන්න සිංහලෙන් තියෙන පිටපතක් අන්තර්ජාලයෙන් බාගත කරගෙන කියවන්න පුලුවන්. ඒකෙන් මුලු පනතම කියවගන්නත් පුලුවන්. මෙන්න ලිංකුවක්.
ඒ වගේම විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ තියෙන තොරතුරු දැනගැනීමේ අයිතිය ගැන සහය මධ්‍යස්ථානයත් ඔබට උදව් වෙන්න සූදානම්. එහි දුරකථන අංකය 011 3030463 සතියෙ දවස්වල උදේ 09 ඉඳලා හවස 05 වෙනකම් ඒ කන්තෝරුව වැඩ කරනවා.
දැන් ඔක්කොම හරිද?
ඔක්කොම හොඳයි මුක්කම නරකයි කිව්වා වගේ තව පොඩි පරහක් තියෙනවා. මේ පනතෙන් වැඩගන්න එහි බලය දන්න සැළකිය යුතු පිරිසක් හිටියට තවම රටේ බහුතරය පනත ගැන දන්නෙ නැහැ. ලියුම්කරුට හිතෙන්නෙ පනත ගැන මිනිස්සුන්ට කියන්න වුවමනාවක් සිවිල් සංවිධානවලට තරම් ආණ්ඩුවට තිබ්බෙ නැහැ කියලා. කොටිම්ම එයාල තමන්ගේ දේශපාලන කාඩරයවත් ඒ ගැන දැනුවත් කළේ නැහැ. මොකද මේ පනත බලයට අභියෝගයක්. ඔන්න ඔය කාරණාව හින්දා තවම සමහර ආණ්ඩුවේ ආයතන පවා මේ පනත ගැන හරිහැටි නොදැන අඳුරේ අතපත ගානවා. ඒ ගැන කියන්න කදිම උදාහරණ කිහිපයක් මේ.
පළමුවැන්න
කොළඹ 05, කිරුළ පාර, ශිවකුමාර් තොරතුරක් ඉල්ලලා අයදුම්පතක් ලියාපදිංචි තැපෑලෙන් යවනවා මස්කෙළිය දිසා රෝහලට. කීප දවසකට පස්සෙ 2020.01.06 වෙනිදා තැපැල් මහත්තයා ලියුම ආපහු එවනවා “තොරතුරු නිලධාරි” කියලා තනතුරකින් කිසිම නිලධාරියෙක් තමන්ගෙ ඉස්පිරිතාලෙ නැති බව ඩී.එම්.ඕ මහත්තයා නැත්නම් දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා කිව්වා කියලා සටහනක් එක්ක. 2016 සම්මත වෙච්ච පනතට අවුරුදු තුනහමාරක් වයස වෙන්න ඇවිල්ලත් මේ උගත් දොස්තර මහත්තයා එහෙම දෙයක් රටේ සිද්ධ වෙච්ච බව හරි තමුන්ගෙ ඉස්පිරිතාලෙට එහෙම නිලධාරියෙක් වුවමනයි කියලා දැනගෙන හිටියෙ නෑ කිව්වම පුදුමයි නේද? අනෙක් අතට මධ්‍යම පළාතේ බලධාරීන් ඒ ගැන දක්වලා තියෙන උනන්දුවේ තරම පුදුමෙනුත් පුදුමයි.
දෙවැන්න
මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන තොරතුරු වගයක් ඉල්ලලා ලියාපදිංචි තැපෑලෙන් ලියුමක් යවනවා දික්වැල්ල ප්‍රාදේශීය සභාවට. ටික දවසකට පස්සෙ පිළිතුරු ලිපියක් ලැබෙනවා. ඒකෙ තියෙන්නෙ “තරිඳු ඉල්ලපු තොරතුරු දෙන්න නම් ඒ කන්තෝරුවේ වැඩ කරන නෝනල මහත්තුරුන්ට සෑහෙන වෙලාවක් වැඩ කරන්න සිද්ධ වෙනවය. ඉතිං ඒ වෙනුවෙන් අතිකාල දීමනා ගෙවන්න වුවමනාය. ඒක තරිඳුගේ අතින් ගෙවන්න වුවමනාය” කියලා. මේ සිද්ධිය ගැන නීතීඥ ජගත් ලියනාරච්චි කියන්නෙ එහෙම කිසිම නිලධාරි දීමනාවක් තොරතුරු දීමෙදි ඉල්ලන්න බැහැ කියලා. 2017 පෙබරවාරි 03 වැනිදා ගැසට් පත්‍රයේ නියෝගවල ඒ ගැන පැහැදිලිව ලියලා තියෙනවා. තොරතුරු දෙන පොටෝ කොපි, සී.ඩී වාගෙ ඒවට විතරක් නම් වියදම අය කරගන්න පුලුවන්. මේං බලන්න ඒ හාස්‍යජනක ලිපිය.

තුන්වැන්න
බලංගොඩ එම්.එන්. මුණසිංහ තමනුත් පෙනී හිටි සම්මුඛ පරීක්ෂණයක ලකුණු ලැයිස්තුව ඉල්ලලා රුහුණු විශ්ව විද්‍යාලයට අයදුම්පතක් යවනවා. රුහුණේ උපකුලපති තුමා නම්කළ නිලධාරියා හැටියට ඒ ඉල්ලීමේ අභියාචනාවත් ලැබුණට පස්සෙ උත්තර එවනවා “අපොයි මේක විභාග රහසක්. පස්වෙනි වගන්තියේ හැටියට විභාග රහස් දෙන්න බෑ කියලා”
හැබැයි ඔහු කාරණා දෙකක් අමතක කරනවා. සම්මුඛ පරීක්ෂණයක තොරතුරු විභාග රහස් හැටියට ගැනෙන්නෙ නැහැ. මොකද කිසියම් අයෙකුට පුලුවන් තමනුත් පෙනී සිටි සම්මුඛ පරීක්ෂණයක තමන් ලද ලකුණු සහ සෙසු ලකුණු ඉල්ලන්න. මේ කාරණාවෙදි තමන්ගෙ ලකුණුවත් දීලා නැහැ. අනික තමයි මහජනයට පුලුවන් තමන්ගෙ මුදලින් වැටුප් ගෙවන්න පොදු අධිකාරියකට බඳවා ගත්ත තැනැත්තෙකුගේ සුදුසුකම් මොනවාද කියලා අහන්න. මේකට හොඳම උදාහරණයක් වුණු තීන්දුවක් සබරගමුව විශ්ව විද්‍යාලයට එරෙහිව තොරතුරු කොමිසම දුන්නා. ඒත් සම්මුඛ පරීක්ෂණයක ලකුණු ලැයිස්තුව ගැන කතාවකදී. එදා සබරගමුවෙ උදවිය ගැහුවෙත් රුහුණෙ බෙර පදයම තමයි. හැබැයි කොමිසම නියෝග කළා ලකුණු ලැයිස්තුව හංගගෙන ඉන්න දෙයක් නෙවෙයි වහාම දෙන්න කියලා. මේ තියෙන්නෙ තොරතුරු පනතෙ 35වැනි වගන්තිය. රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපතිතුමාට වුවමනා නම් මේ වගන්තිය ගැනත් අවධානය යොමු කරන්න පුලුවන්.
35. යම් තැනැත්තෙකුට කවර හෝ ආකාරයකින් බලපාන තීරණයක් ලබා දෙන යම් පොදු අධිකාරියක සෑම නිලධරයකුම, අදාළ තැනැත්තා විසින් තත්කාර්ය සඳහා කරනු ලබන ඉල්ලීමක දී, එම තීරණයට එළඹීම සඳහා වූ හේතු එම තැනැත්තාට ලිඛිතව හෙළිදරව් කළ යුතු ය. (උපුටා ගැනීම තොරතුරු පනත)
හැබැයි ඉතිං මේ වාගෙ කතාවක් දෙකක් අහන්න ලැබුණට පොදුවේ තොරතුරු පනත කියන්නෙ ජනතාවගේ පනත. මේ කතා ගැන කියන්න හේතුව වගකිවයුත්තන්ගෙ අවධානය යොමුවෙලා පොදු අධිකාරිවල නෝනලා මහත්තුරුන්ගෙ දැනුම ඌණ නම්, ඒ අය නොසැළකිලිමත් නම් ආං ඒකට පිළියමක් යොදන්න කියලා පෙන්වලා දෙන්න තියෙන වුවමනාව.
ලසන්ත ද සිල්වා