අලුත් විශ්ව විද්‍යාලය හැටන් කොටගලට

 අලුත් විශ්ව විද්‍යාලය හැටන් කොටගලට

විශ්ව විද්‍යාල වරම් ලබන වතුකරයේ සිසු දරුවන් වෙනුවෙන් හැටන් කොටගල ප්‍රදේශයේ අංග සම්පූර්ණ  විශ්වවිද්‍යාලයක් කඩිනමින් ගොඩනගන බව උසස් අධ්‍යාපන, තාක්ෂණ, නවෝත්පාදන, තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන  පැවසුවේය. බන්දුල එසේ පැවසුවේ වතුකරයේ විශ්වවිද්‍යාලයක් ඉදි කිරීම සඳහා දැනට තෝරාගෙන තිබෙන හැටන් කොටගල ප්‍රදේශයේ පිහිටි ඉඩම නිරීක්ෂණය කිරීමට අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමාන්ගේ ආරාධනයෙන් අද (09) එහි ගිය අවස්ථාවේදීය.

පසුගිය ජනපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා නුවරඑළියේ පැවැති ජන රැළියේදී  විශ්වවිද්‍යාලයක් ලබාදෙන බවට වතුකරයේ ජනතාවට ප්‍රතිඥාවක් දුන් බවත් ඒ අනුව එම පොරොන්දුව කඩිනමින් ඉටු කිරීමට කටයුතු කරන බවත් මෙහිදී ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

හැටන් තොණ්ඩමාන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය විශ්වවිද්‍යාල විද්‍යායතනයක් බවට පත් කිරීමටත් කොටගල ප්‍රදේශයේ  අංග සම්පුර්ණ විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීමටත් කටයුතු කරන බව කී ඇමැතිවරයා මේ සම්බන්ධව කැබිනට් අනුමැතියක් ලබා ගැනීමෙන් අනතුරුව ලබන වසරේ අයවැය යෝජනාවට එය ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන  බවද පැවසුවේය.

කොටගල ප්‍රධාන වශයෙන් ඉංජිනේරු තාක්ෂණය, ජෛව පද්ධති තාක්ෂණය, තොරතුරු තාක්ෂණය යන අංශයන් ගෙන්  සමන්විත අංග සම්පුර්ණ විශ්ව විද්‍යාලයක් ඉදි කිරිම ජනපතිවරයාගේ අරමුණ බවත් නිපුණතා හා දක්ෂතා වලින් පිරුණු අනාගත පරපුරක් වතුකරයෙන් බිහි කිරීමට මේ ඔස්සේ මඟ පෑදෙනු ඇති බවත් හෙතෙම කීය.

නිදහසින් පසු  මෙවැනි අවස්ථාවක් වතුකරයට හිමිවන ප්‍රථම අවස්තාව මෙය බවද ඒ මහතා කීය.වතුකරයේ ජිවත්වන සිංහල, දෙමළ හා  මුස්ලිම් දරුන්ට තමන්ගෙ ප්‍රදේශයේම ඇති විශ්ව විද්‍යාලයකට ඇතුළුවී උපාධියක් ලබා ගැනීමේ ඉඩ මේ ඔස්සේ ලැබෙන බවද ඇමැතිවරයා පැවසුවේය. රැකියා ඉල්ලා කෑගසීමට සිදුවන උපාධියකට වඩා රැකියාවක් හෝ ස්වයං ව්‍යාපාරයක් ආරම්භ කළ හැකි  පාඨමාලා හඳුන්වා දීමට සැළසුම් කර තිබෙන බවද හෙතෙම පැවසුවේය.ජනාධිපතිතුමා වචනයක් දුන්නොත් එය ක්‍රියාවට නැංවීමට සෑම මොහොතකම කටයුතු කරන බවද ඒ මහතා කීය.

උපාධිධාරින්ට රැකියා ලබාදෙන බවට දුන් පොරොන්දුව මැතිවරණය ප්‍රකාශයට පත් කරන්නට ප්‍රථම  ඉෂ්ඨ කළේ පක්ෂ,පාට,ජාති බේදයකින් තොරව යැයිද හෙතෙම ප්‍රකාශ කළේය. මැයි මාසයේ 11 දින රැකියා ලැබුණු උපාධිධාරින්ගේ නම් ලැයිස්තුව පළාත් පාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ වෙබ් අඩවියට මුදාහරින බවද අමාත්‍යවරයා කීය. දස ලක්ෂයකට රැකියා ලබාදීමට පොරොන්දුවී බලයට පැමිණි එජාපය පන් ලක්ෂයකට රැකියා අහිමි කළ බවද හෙතෙම පැවසුවේය.

ශ්‍රීපාද විද්‍යා පීඨය 2020 වසර අවසන් වීමට පෙර ජාතික අධ්‍යාපන විශ්ව විද්‍යාලයක් බවට පත්කරන බවද බන්දුල ගුණවර්ධන කීය. ශ්‍රි පාද විද්‍යාපිඨයෙන් මෙතෙක් ලබාදී තියෙන්නේ ඩිප්ලෝමාවක් පමණක් බවත් ලබන වසරේ සිට විද්‍යා පිඨයට ඇතුළු වන සිසුන්ගේ අධ්‍යයන කාලසීමාව වසරකින් වැඩිකර සියලු අයට උපාධිධාරී පත්වීමක් ලබාදෙන බවත් ඒ තුළින් ඔවුන්ට උපාධිධාරී පුහුණු ගුරුවරුන් ලෙස සේවයට එක්විය හැකි බවත් ඇමැතිවරයා පැවසුවේය.

බන්දුල ගුණවර්ධන සහ ආරුමුගම් තොණ්ඩමාන් ඇමතිවරු ස්ථානීය පරීක්ෂාවක

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *