අලි මිනිස් ගැටලුවට විසඳුම් ඉල්ලා මහියංගණයේත් සත්‍යග්‍රහයක්

චාමින්ද බුලත්සිංහල

අලි මිනිස් ගැටුමට විසඳුම් ඉල්ලා  සමස්ථ ලංකා ගොවි ජන සම්මේලනයේ මහියංගණ ගොවි ජනතා එකමුතුව මගින් පසුගිය දාහත්(17)වෙනිදා මහියංගණ නගරයේ සත්‍යග්‍රහයක් ආරම්භ කරන ලදී. පසුගිය සෙනසුරාදා වන විට ඊට දින 11ක් ගතව ඇතත් බළධාරීන්ගේ අවධානය යොමු නොවීම පිළිබඳව විරෝධය පාමින් සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් උද්ඝෝෂණ පා ගමනක් 27වන සෙනසුරාදා මහියංගණ නගරයේදී පැවැත්විණි.

මෙම උද්ඝෝෂණ පා ගමන මහියංගණ පොළොන්නරුව මාර්ගයේ එකේ කණුව ස්ථානයෙන් ආරම්භ කොට මහියංගණය නගරය පුරා විථි සංචාරය කොට සත්‍යග්‍රහය සඳහා ඉදිකර තිබෙන අට්ටාලය අසලින් අවසන් විය.

මෙහිදී අදහස් දැක්වූ සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා, අලි වැටවල් සදහා කෝටි 48ක් වැනි විශාල  මහජන මුදල් කන්දරාවක් වියදම් කරලාවත් රටේ ජනතාවට වන අලින්ගෙන් සිදුවන පීඩා නතරවෙලා නෑ.  පසුගියදා නිකුත් වෙච්ච කෝපි කමිටු වාර්ථා වලින් මේ පිළිබද අනාවරණය වෙලා තියෙනවා. අලි පෙන්නලා විතරක් අවුරුද්දකට රුපියල් ලක්ෂ නව දහසකට වඩා හම්බකරන ආන්ඩුව අඩුගානේ ඒකෙන් ලක්ෂ දෙතුන්දාහක් අලි වෙනුවෙන් වියදම් කරලා අලියාට අවශ්‍ය පරිසරය හදන්නේ නෑ.  මේ ප්‍රශ්නෙට  විසදුම තුවක්කු දෙන එක නෙවෙයි.  අලි වෙඩි දෙන එක නෙවෙයි.  විසඳුම අලි වැට නෙවෙයි. අලි වැට කියන්නේ ඇස් බැන්දුමක් පමණයි. කරුණාකරලා පැලැස්තර විසඳුම් වෙනුවට, අපි ඉදිරිපත් කරලා තියෙන විද්‍යාත්මක විසදුම්වලට යන්න කියලා අපි රජයට බල කරනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නාමල් කරුණාරත්න මහතා “ අලියාට අවශ්‍ය කෑම ටික වතුරු ටික පරිසරය සම්පාදනය කරලා උගේ පරිසරය සුරක්ෂිත කරපල්ලා. ගමේ ඉන්න අලි ටික කැළේ ඇතුලට දාපල්ලා. මහියංගනේ ටවුමට හැන්දෑවට අලි එනවානම් වටේ තියෙන ගම්මාන වලට කුඹුරුවලට කවර කථාද? මේ අම්මලාගේ තාත්තලාගේ ගෙවල් පලමු වරටත් දෙවන වරටත් අඛන්ඩව  අලි ප්‍රහාරයන් වලට ලක්වෙනවා නම්, මේ ටවුම මැද්දෙත් අලි ලගිනවානම් තවත් මොන කථාද?. ඒක නිසා කරුණාකරලා මේ සදහා සාධාරණ විසදුමක් ලබාදීපල්ලා. සතාට අවශ්‍ය කෑම ටික වතුරටික කැලෑ ඇතුලේ නිර්මාණය උනාට පස්සේ අනාරාදිතව ගම් වලට ආපු අලි ඉබේම කැළෑතුලට යනවා. මුදල් වියදම් කරලා අලි කැළෑවලට එල වන්න අවශ්‍ය වෙන්නේ නෑ.  අන්න ඒක කරන්ඩ කියලයි මේ බල කරලා කියන්නේ. හැබැයි  ඒ ටික කරනවා වෙනුවට මුන් රට පුරා තියෙන කැලෑ ටික කපලා විනාශ කරලා දානවා. ආදිවාසී නායක වන්නිලා ඇත්තෝ ඉතිහාසයේ පළමු වතාවට පරිසරය ආරක්ෂා කර ගන්න උසාවි ගිහින් තියෙනවා. කාදිනල් පියතුමා පෙරට ඇවිත් තියෙනවා මේ වෙනකොට පරිසරය ආරක්ෂා කර ගන්න. රටේ ප්‍රගතිශිලි හාමුදුරුවන් වහන්සේලා පෙරට ඇවිත් තියෙනවා පරිසරය ආරක්ෂා කර ගන්න. පරිසරවේදීන් මහාචාර්යවරුන්, ආචාර්යයවරු, උගතුන්, බුද්ධිමතුන්, ගොවි ජනතාව කම්කරු ජනතාව රටේ ජනතාව පෙරට ඇවිත් තියෙනවා පරිසරය ආරක්ෂා කර  ගන්න. කැලෑ ටික ආරක්ෂා කර ගන්න. එහෙම ඉස්සරහාට එද්දී මේ ආණ්ඩුවේ ඉන්න බක පණ්ඩිතයො ටිකක් දැන් පුරසාරම් දොඩනවා කැළෑ කපලා නෑ කියලා. සිංහරාජයේ කැළේ කපලා නෑ කියලා ඔප්පුකරලා පෙන්නන්න ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රිවරු ටිකක් පහුගිය දවසේ ගියා. ඒ වගේම වරෙල්ලාකෝ මේ මහියංගණයටත්. බලපල්ලාකෝ මෙහෙ ජනතාවගේ තියෙන ප්‍රශ්න ගැටළු ගැනත්. මේ ආණ්ඩුවත් මාධ්‍ය ආයතනවලට ඇඟිල්ල දික්කරලා, බොරු බේගල් ඇදබාලා රටේ සිද්දවෙන පරිසර විනාශය වහගන්ඩ ගිහින් හත්පොලේ ගාගෙන ගඳ ගස්සගෙන තියෙන්නේ කියන කාරනය අපිට මතක් කරන්න  සිද්ධවෙලා තියෙන්නේ. ඔබලාගේ කන් ඇහෙන්නේ නැත්නම් අපි කන් අස්සවන්න ලගදීම කොළඹට එනවා. අම්පාරෙන් පොලොන්නරුවෙන් අනුරාධපුරෙන් හම්බන්තොටින් මහියංගණයෙන් දහස් ගණනින් ජනතාව කොළඹට අරගෙන ඇවිත්  වන ජිවි ඇමතිතුමාගේ කාර්යාලය අභියසට එනවා.  එදාට වත් මේ ගැන සාකච්ඡා කරන්න ඉන්නවාද? ඊට කලින් මේ ජනතාවට විසදුමක් දෙනවාද? ඔහෙලාගේ කන් ඇහෙන්නේ නෑ. ඇස් පේන්නේ නෑ. පෙනෙන්නේ නැති ඇස් පෙන්නවන්න, ඇහෙන්නේ නැති කන් අස්සවන්න නුදුරේදිම රට හැමතැනින්ම ජන ගංගාවක් කොළඹට ගලන එක නතර කරන්න බැරිවෙයි. “ යැයි ප්‍රකාශ කළේය.

අද (29) වන විට   මහියංගණ නගර මැද ආරම්භ කරන ලද සත්‍යග්‍රහයට දින 13 ක් ගතව ඇතත් කිසිදු බලධාරියෙකුගේ අවධානය මීට යොමු නොවීම පිළිබඳ ව විරෝධය පාමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න  මහතා දැඩි අප්‍රසාදය ඵල කළේය.

මෙම අවස්ථාව සඳහා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ලේකම් ටී. බි.සරත් මහතා, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ විධායක සභික සුදත් බලගල්ල මහතා ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි විය.  උද්ඝෝෂණය අවසානයේ නාමල් කරුණාරත්න මහතා ඇතුළු පිරිස නගරයේ වු සත්‍යග්‍රහයට සහය ඵල කරමින් එහි අසුන් ගත්තේය.

මහියංගණය, මිනිපේ ,  රිදිමාලියද්ද යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනට වසර 10කට අධික කාලයක් තිස්සේ දැඩි වන අලි තර්ජන එල්ල වී ඇති අතර ඒ සදහා කඩිනම් විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා අවස්ථාවන් රැසකදී පසුගිය කාලයේ දැවැන්ත විරෝධාතා සංවිධානය කල අතර, එහිදී බළධාරින් හා නිළධාරින් රැසක් මහජනතාව රැවැටු බවටත් මෙවර ගැටළුවට කඩිනම් විසදුම් අවශ්‍ය බවට සත්‍යග්‍රහයේ යෙදී සිටින පිරිස දැඩිව අවධාරණය කරති. මහියංගණ නගරයේ සත්‍යග්‍රහය තවදුරටත් අඛන්ඩව පැවැත්වේ.

එසේම පසුගිය 27 දින උදැසනත් මහියංගණ මහවැලි පාලම යට වන අලි 07ක් සිටීම හේතුවෙන්  වන අලි දැක බලා ගැනිම සදහා මහා මාර්ගයේ ගමන් ගත් මහජනතාව මහවැලි පාලම උඩට එක් රැසක් විය. ඊට පෙරදින උදැසනත් මේ ආකාරයෙන් අලි  04ක් මහවැලි පාලම යට සිටිම හේතුවෙන් රාත්‍රි ගම්වදින වන අලි දිවාකාලයේදී දැක ගැනිම සදහා මාර්ගයේ ගමන්ගන්නා මහජනතාව විශාල ප්‍රමාණයක් සිය ගමන නවතා වන අලි නැරබීම සදහා මහවැලි පාලම අසල එක් රොක්වීම හේතුවෙන්  මාර්ගයේ ගමනාගමනයට යම් යම් බාධාවන්ද ඇති විය.

තවද මහියංගණ නගරය ආසන්නයේ වු “පගරගම්මන “ මුස්ලිම් ගම්මානයේ නිවසක් ආසන්නයට පසුගිය 27 දින අළුයම 1.45ට පමණ වන අලියෙකු පැමිණ නිවස ආසන්නයේ වු ලොරි රථය පරික්ෂාකර නිවසේ දොරකින් හොඩවැල දමා ආහාර සොයන ආකාරය සී.සී. ටිවී කැමරාවේ සටහන්ව ඇත.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *