අලි මංකඩ වසා හැදෙන කාබනික පොහොර අංගණය

ලක්මාල් කේ. බදුගේ

අලි හතලිහක් පමණ එහා මෙහා යන ත්‍රිකුණාමලය, කන්නියා වෙල්ගම් වෙහෙර අලි මංකඩට බාධා වන අයුරින් කොම්පෝස්ට් අංගණයක් සැදීමට යැයි කියා එකී පටු කැලෑ තීරුවෙහි කොටසක් නගර හා කඩවත් සතර ප්‍රාදේශීය සභාව විසින් මේ වනවිට ඩෝසර් කර ඇතැයි වෙල්ගම් වෙහෙර ජනයා පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ අලි මංකඩට යාබදව අක්කර 30 කට වැඩි ප්‍රමාණයක් පුරා පැතිර පවතින කසල අංගණයක් තිබියදි එම බිම කොම්පෝස්ට් සැකසීමට භාවිතා නොකර අලි මංකඩම ‍ඩෝසර් කිරිම තවත් පාරිසරික ගැටලුවක් ඇති කරවන්නක් බවයි.

සංජීවනී බණ්ඩාර

අලි තිහක් හතලිහක් දවසකට පාර මාරුවෙන අලි මංකඩ හරස් කරලා ඊයේ පෙරේදා ඉඳලා ඩෝසර් කරනවා ඇහුවම කියනවා කොම්පොස්ට් පොහොර හදන්න එහෙම කරන්නෙ කියලා අලින්ට පාර මාරුවෙන්න ඉඩ තියලා තමයි වනජිවි එක අලි වැට ගැහුවේ එක පැත්තකින් අපේ ගම ආවරණය කලා අනිත් පැත්තෙන් කුණු වල හා කන්නියා ගම ආවරණය කලා වලස් වැව පැත්තෙ ඉඳලා එන අලි පාර මාරුවෙලා උදේ හවස කුණු වල පැත්තට යනවා. ආයේ වලස් වැව පැත්තට යනවා ඒක උන්ගේ ගමන් මාර්ගය ඒක අවහිර කලාම වෙන්නේ අලි වැට කඩාගෙන ඔය අලි ටික ගම් වදින්න එන එක කොම්පෝස්ට් හදන්න අක්කර තිහ හතලිහක කසල අංගණයක් තිබියදි ඒක විධිමත් කර ගන්න බැරි ප්‍රාදේශීය සභාව තවත් කැලේ කපලා අලින්ට තියෙන අලි මංකඩත් අහුරන්නේ කොම්පෝස්ට් හදන්නද කියන ප්‍රශ්ණය අපිට මතුවෙනවා යැයි වෙල්ගම් වෙහෙර කසල ප්‍රතිචක්‍රීය කරණ අංගණය අසල පදිංචිකාරිණියක වන ආර්. එම්. සංජීවනි බණ්ඩාර මහත්මිය පැවැසුවාය.    

ත්‍රිකුණාමලය අනුරාධපුර මාර්ගයේ කන්නියා හා වෙල්ගම් වෙහෙර ගම්මාන දෙක මායිමේ පිහිටා ඇති කසල ප්‍රතිචක්‍රීය කරන මධ්‍යස්ථානය මේ ගම් දෙකක ජන දිවියට හා අලින්ට මෙන්ම වන සතුන්ට ද හානි කරමින් බරපතල පරිසර ගැටලු රැසක් ඇති කරන රෝග වාහක මධ්‍යස්තානයක් බවට මේ වනවිට පත්ව තිබේ. එසේ තිබියදි එම වරද නිවරදි කරනු වෙනුවට තවත් පාරිසරික හානියක් සිදු කිරීමට ප්‍රාදේශීය සභාව කටයුතු කරන්නේ නම් එම අවනඩුව කාට කියන්නේ දැයි ජනයා විමසති.

සේපාලි වසන්ති

මේ පිළිබදව අදහස් දැක්වු විල්ගම් වෙහෙර ප්‍රදේශයේ පදිංචිකාරියක වන ජී. ඒ. සේපාලි වසන්ති මහත්මිය 1996 වසරේ කොටි ගමට ගැහුවට පස්සෙ අපි ගෙවල් දොරවල් දාලා ගිහින් අනාථ කඳවුරු වල ජීවත් වුණා. යුද්දය ඉවර වෙලා 2010 විතර අපිට එන්න කියලා ප්‍රාදේශීය ලේකම් තුමා කීවම ඇවිත් පදිංචි වුණා. ගමේ පවුල් 30 ක් විතර ඉන්නවා ඒ කාලේ අලි කරදර තිබුණා සුසන්ත පුංචි නිලමෙ ඇමතිතුමා අලි වැටක් ගහලා දුන්නා ඒකත් කැඩිලා ගියා පස්සෙ වනජිවිය අලි මංකඩ ඉතිරි කරලා ලොකු අලිවැටක් ගහලා අපේ ගම් දෙක ආරක්ෂා කරන්න කටයුතු කලා මහ දවල්ටත් අලි මාරුවෙන්නෙ මේ අලි මංකඩ හරහා දැන් ඒ කැලේ ඩෝසර් කරනවා කොම්පෝස්‍ට් පොහොර හදන්න කියලා කුණු වලක් ගෙනැත් දාලා අපිට මැස්සො පිරිලා ලිං වල වතුර කලු පාට වෙලා කුණු පුච්චන ගද ඉවසන්න බැරිව තියෙන කොට දැන් අලි මංකඩත් වහන්නයි මේ අය හදන්නේ යැයි පැවැසීය.

අක්කර 32 ක් පුරා පැතිර පවතින කසල බහැර කෙරෙන අංගනයක් තිබියදි ඉන් කොටසක් කොම්පෝසට් සැකසීම සඳහා නොගෙන තවත් අක්කර පහ බැගින්වු බිම් කොටස් දෙකක් මංකිබ්‍රිජ් වන ක්ෂේත්‍ර සහකාර කොට්ඨාශයට අයත් කන්නියා ප්‍රදේශයෙන් කොම්පෝස්ට් පොහොර සැකසීමට යැයි කියා නගර හා කඩවත් සතර ප්‍රාදේශීය සභාව විසින් ඉල්ලා ඇති බව නගර හා කඩවත් ප්‍රාදේශීය ලේකම්වරයා පවසයි. 

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ තමන්ට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ඉල්ලා එවන බිම් කොටස පරික්ෂා කර නිදහස් කරන නමුත් ඒ කුමන කටයුත්තක් සදහා ද යන්න විමසා බැලීමක් සිදු නොකරන බවයි. කෙසේ වෙතත් වෙල්ගම් වෙහර ප්‍රදේශයේ ජනයා අලිමංකඩ හරස් කර සිදුකරන නව කොම්පෝස්ට් අංගණයට සිය විරෝධය පල කරනුයේ තමන් තවදුරටත් පීඩාවට පත් කරමින් තිබෙන කසල අංගණය විධිමත් නොකර අලි මංකඩ හරස් කිරිම අලි කරදරයකට ඇද දැමීමක් වන බව කියමිනි. 

ප්‍රාදේශීය ලේකම් පොන්නම්බලම් ධනේෂ්වරන්

මේ පිළිබදව කල විමසුමකට පිළිතුරු දුන් නගර හා කඩවත් ප්‍රාදේශීය ලේකම් පොන්නම්බලම් ධනේෂ්වරන් මහතා නගර හා කඩවත් ප්‍රාදේශීය සභාව අපෙන් ඉල්ලීමක් කලා කාබනික පොහොර සැකසීමේ ජාතික වැඩ පිළිවෙලට සහය දෙන්න කොම්පෝස්ට් සකස් කිරිම සදහා ඉඩමක් ලබා දෙන්න කියලා එයාලා ඉල්ලුවෙ ඔය ඉඩම, එතැන සොහොනක් තියෙනවා සොහොන පිටුපස පටු තීරුවක් අක්කර පහක් ව‍ගේ කොටසක් අපි කිව්වා අදාල ආයතන වල අනුමැතිය හිමිවන්නේ නම් පමණක් අපිට නිදහස් කරන්න පුළුවන් කියලා නමුත් මේ ඉඩම නිදහස් කරන්න තාම ඉඩම් පරිහරණ කමිටුවට දාලා නැහැ. එයාලා කැලේ සුද්ද කරන එක ගැන මම දන්නෙ නැහැ මායිම හදුනා ගන්න පමණක් සුද්ද කරන්න කියලා තියෙනවා අනිත් ආයතන අවසර දෙන්නෙ නැතිනම් අපිට අවසර දෙන්නත් බැරි වෙනවායි පැවැසීය.

අලි මංකඩ හරස් කර කැලය කපා ඇති බවත් ඒ සදහා කිසියම් අවසරයක් ලබා දී ඉඩම වෙන්කර ඇතිද යන්න පිළිබදව කල විමසුමකට කල පිළිතුරු දුන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය දිසාවන නිලධාරි චන්දන අබේසේන මහතා පැවැසුවේ මෙම ස්ථානය තුල කොම්පෝස්ට් ව්‍යාපෘතියක් සදහා සුදුසුද යන්න පරික්ෂා කල බලා වාර්ථාවක් ඉල්ලා ඇති බවත් පරිසර සංවේදි කලාපයක් ද එය රක්ෂිතයක්ද යන්න සොයා බලන අතර අලි මංකඩක් වගේ තැනක් නම් එම ව්‍යාපෘතියට විකල්ප ඉඩමක් ලබා දිමට කටයුතු කරන බවයි. නමුත් තවමත් අපි අවසර ලබා දි නැහැයි හෙතෙම කියා සිටි.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හෝ ඉඩම් පරිහරණ කමිටුවේ හෝ නිසි අවසරය හිමිව නොතිබියදි මායිම සොයා ගැනීමට යැයි පවසමින් මේ වනවිට අක්කරයකට ආසන්න ප්‍රමාණයක කැලය කපා තිබේ. එය අලි මංකඩක් බව සභාව නොදන්නවා නොවිය යුතුය. ඔවුන් මින් පෙර කසල අංගණය ස්ථාපිත කලේද ජල උල්පත් හා ඇළ මාර්ග සහිත කැළෑවක බව වෙල්ගම් වෙහෙර ජනයා පවසයි. වැසි කාලයේ දී ඇල හරහා ගලා යන ජලය කලු පැහැයට හුරු බවත් ඒවා සිය නිවාස පිටුපසින් වැටී ඇති ඇළ හරහා වලස් වැවට ගලා යන බව ඔවුන් පවසයි. සභාවට පැවැසුවත් කසල අංගණයේ ගැටලුවට මෙතෙක් විසදුම් ලැබි නැති බව පවසන එම ජනයා කියා සිටිනුයේ එසේ තිබියදි තවත් පරිසර හානියක් සිදු කිරීම නොවටිනා ක්‍රියාවක් බවයි.

මේ සම්බන්ධයෙන් කල විමසුමකට පිළිතුරු දුන් නගර හා කඩවත් ප්‍රාදේශීය සභාවේ සභාපති සදුන් දර්ශණ රත්නායක මහතා 

සදුන් දර්ශණ රත්නායක

ජාතික ව්‍යාපෘතියක් වන කාබනික පොහොර සැකසීම සදහා තමයි අපි මේ අක්කර පහ තෝරා ගත්තෙ මේ සදහා රාජ්‍ය අමාත්‍යාංශයෙන් රුපියල් එක්කෝටි විස්සක මුදලක් ප්‍රතිපාදන ලෙස වෙන් වෙලා තියෙනවා. ඒ මුදල් ලැබෙන්නෙ මේ දිස්ත්‍රික්කයට අපි දැනගෙන හිටියේ නැහැ මේ අලි මංකඩක් ය කියලා ඉඩම මුළුමනින්ම සුද්ද කරලා නැහැ මායිම සළකුණු කර ගැනීම සදහා පමණක් වටේ සුද්ද කරන්න කිව්වා ඒ වගේම මේ ඉඩම අපිට දුන්නෙ ඉඩම් පරිහරණ කමිටුවේ නිලධාරින් ප්‍රාදේශීය ලේකම් තුමාත් පැමිණියා. මේ ව්‍යාපෘතිය සදහා පරිසර ඇගයීම් වාර්ථාවක් අපි අරන් නැහැ නමුත් මධ්‍යම පරිසර අධිකාරිය දැනුම්වත් කරලා තියෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා නාගරික සංවර්ධන අධිකාරියෙන් තමා අවසර ගන්න කියලා ඉඩම් පරිහරණ කමිටුව කියා තියෙන්නේ අපි ඒ ආයතන වලට කියා තියෙනවා ඇවිත් බලන්න කියලා. 

ඊට පෙර අලි වැට ඇතුලෙ ඉඩමක් මේ කටයුත්තට ගත්තාම ඒක දිසාපතිතුමා දෙන්න බැහැ කිව්වා අපිත් කැමැතියි වර්ථමාන කසල අංගණය තියෙන කොටසෙන්ම ඉඩමක් දෙනවා නම්  එතකොට ඉඩම් දෙකක් ඕන වෙන්නෙ නැහැ. අපිටත් වැඩේ පහසුයි. නමුත් පලාත් පාලන ආයතන හා කසල අංගණය භාරව තියෙන පුද්ගලික සමාගම හා ඇති කරගත් ගිවිසුමක් නිසා ඒ කසල අංගණය අපිට ගන්න බැහැ ඒ නිසා දැන් අපිත් අපහසුතාවට පත්වෙලා තියෙනවා. මේ කුණු අංගණය නිසා විශාල පාරිසරික හානියක වනවා කියලා ජනතාව කියන කතාව සම්පුර්ණ ඇත්ත කෙසේ වෙතත් අලි මංකඩක් නම් අපි කිසි විටෙක ඒක අවහිර කරන්නෙ නැහැ අපි විකල්ප ඉඩමකට යන්න සුදානම් එම ඉඩම කඩිනමින් වෙන් කර දීම ඉඩම් පරිහරණ කමිටුවයි කල යුත්තේ යැයි පැවැසීය.

‍වන අලි ප්‍රතිපත්තියට අනුව සතුන් ගැවසෙන ස්ථාන හෝ අලින් මාරුවන ස්ථාන අවහිර කිරිම කිසිවකු විසින් නොකල යුත්තක් යැයි වනජිවි දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය වැඩබලන සහකාර අධ්‍යක්ෂක ඩබ්ලියු. ඩී. එම්. ජේ. වික්‍රමසිංහ මහතා පවසයි. අලි මංකඩ අවහිර වන සේ සිදු කරන වන හානිය හා කොම්පෝස්ට් අංගණය පිළිබදව කල විමසුමකට පිළිතුරු දෙමින් ඒ මහතා එසේ පවසයි. මේ ස්ථානය අලි මාරුවන අලි මංකඩක් කුමන හෝ ආයතනයක් හෝ කණ්ඩායමක් එවන් ස්ථාන අවහිර කිරිම නොකල යුත්තක් සතුන්ගේ ගමන් මාර්ග අවහිර කිරීම තවත් අර්බුධයකට මග පාදන්නක් කෙසේ වෙතත් මම මේ පිළිබදව තවම දැනුම්වත් වෙලා නැහැයි හෙතෙම වැඩිදුරටත් කියා සිටි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.