අල්ලස් ගත් විදුහල්පතිණියට වැඩ වරදී

මහනුවර හිදගල සීවලි මහා විද්‍යාලයේ පළමු වසර පන්තියට ළමයෙකු ඇතුළත් කර ගැනීමට රුපියල් 25000.00 ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් බව කියන එම විදුහලේ විදුහල්පතිනිය අල්ලස් හෝ දුෂණ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකපිට අත්අඩංගුවට ගත් විදුහල්පතිනිය පේරාදෙණිය පොලීසිය මගින් ඊයේ (15) මහනුවර අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ මෙම මස 27 දින තෙක් ඇය රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාවරයා නියෝග කර ඇත.
තම දරුවා සීවලී විදුහලේ පළමු වසරට ඇතුළත් කිරීම පිණිස රුපියල් 25000.00 ක මුදලක් විදුහල්පතිනිය ඉල්ලා සිටින බවට දරුවෙකුගේ දෙමව්පියන් විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන අංශයට කළ පැමිණිල්ලක් කර තිබේ.එම නිලධාරීන්ගේ උපදෙස් මත පෙරේදා (14) පස්වරු 1.30 ට පමණ අදාළ දරුවාගේ මව විදුහල්පතිනියට මුදල් ලබාදීම පිණිස විදුහලට ගොස් ඇත.
විදුහල්පතිනියගේ කාර්යාලය තුළදී අදාළ මුදල පැමිණිලිකාර මව විසින් විදුහල්පතිනියට ලබාදෙන අවස්ථාවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන අංශ නිලධාරීන් විසින් සැකපිට විදුහල්පතිවරියව අත්අඩංගුවට ගෙන තිබේ.