අරගලය මුවාවෙන් පාර්ලිමේන්තුවට පහර දුන්නේ ත්‍රස්තවාදීන් – එක්සත් රණවිරු ප්‍රජාවේ කැඳවුම්කරු

අරගලකරුවන් යැයි කියා ගනිමින් පාර්ලිමේන්තුවට පහර දීමට උත්සහ කළ ත්‍රස්තවාදීන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගත යුතු බව එක්සත් රණවිරු ප්‍රජාවේ කැඳවුම්කරු අසේල ධර්මසිරි මහතා පවසයි.

මෙම ත්‍රස්තවාදීන් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් බරපතල තුවාල ලත් රණවිරුවන් දෙදෙනෙක් මේ වනවිටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඔවුන්ට සාධාරණය ඉටුවිය යුතු බවත් ඒ මහතා කීය.

මහනුවරදී අද (17) පැවැති මාධ්‍ය හමුවකදී ධර්මසිරි මහතා මේ බව පැවසුවේය.එහිදී ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීවේය.

මේ රටේ දේශපාලන පක්ෂ තිබෙනවා.සිවිල් සංවිධාන තිබෙනවා.නොයෙක් සංවිධාන තිබෙනවා.අරගලකරුවන් අතර සිටින ත්‍රස්තවාදීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා උල්ලංඝනය කරමින් ප්‍රහාර සැළසුම් කළා. රට ආරක්ෂා කරන්න ඉන්න රණවිරුවන්ට යකඩ පොලු වලින් ගැහුවා.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ රටේ මූලික නීතිය යි. සියලුම රාජ්‍ය සේවකයින් පොරොදුවක් දීලා තිබෙනවා රාජ්‍ය ආරක්ෂා කරන්න. සිවිල් පුරවැසියන් ප්‍රතිඥාවක් නොදුන්නත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකින්න ඔවුන් බැඳී සිටිනවා. ඕනෑම කෙනෙකුට අරගල කරන්න පුළුවන්. භාෂණයේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් තහවුරු කර තිබෙනවා. නමුත් මූලික නීතියෙන් පිට කිසියම් කටයුත්තක් කරනවා නම් ඒක ත්‍රස්තවාදය මිස වෙනත් දෙයක් නෙවෙයි.සාමාකාමී අරගලකරුවන් යැයි කියාගත් ත්‍රස්තාවදීන් පිරිසක් පාර්ලිමේන්තුව අභියදසී රණවිරුවන්ට පහර දුන්නා.පහර කෑ අය අතර රණශූර පදක්කම් තිබෙන රණවිරුවෙක් ඉන්නවා.එදා එක රණවිරුවෙක් හරි අවි පත්තු කළා  නම් රටම ලේ විලක් වෙනවා.

ත්‍රිවිධ හමුදාව ඉන්නේ රාජපක්ෂලා ආරක්ෂා කරන්න නොවෙයි.මේ රටේ පුරවැසියන් ආරක්ෂා කරන්න යි. ලාල් කාන්තලා හදුන්නෙත්තිලා පාර්ලිමේන්තුවේ පිවිසුම ළඟට ගිහින් කිව්වා රාජපක්ෂලාගේ බංකරය කඩන්න එන්න කියලා.මේ රටේ නීති හදන පනත් සම්මත කරන තැන කුඩු කරන්න කියලා මේ අය කිව්වේ.ඔය දෙන්නාම පාර්ලිමේන්තුවේ විශ්‍රාම වැටුප ගන්නවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නීතියට පටහැනිව කටයුතු කරන්න කියලා තමයි මේ අය ජනතාවට කියන්නේ. බුද්ධි අංශ දෙන්නෙක්ගේ අන්‍යන්‍යතාව අරගලකරුවන් විසින් හෙළි කරත්දී අපි කිව්වා ඒක කළ අය  අත්අඩංගුවට ගන්න කියලා. නමුත් පොලිස්පති ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වුණේ නැහැ. එදා අපි කිව්ව දේ  කළා නම් අද මේ විනාශය වෙන්නේ නැහැ. මේ වෙනකොට කිසිම රණවිරුවෙක් අරගලයට සක්‍රීය දායකත්වයක් දීලා නැහැ. යුද්ධයේදී රණවිරුවන්  27500 ක් මිය ගියා.තවත්  14500 ක් අබාධිත වුණා. මේ කිසි කෙනෙක් අරගලයට ආපු නැති හේතුවක් තිබෙනවා. රණවිරුවන්ට පහර දුන් අය අත්අඩංගුවට ගත්තේ නැත්නම් අපි කොළඹ වටලනවා.

ගෑස්, කිරිපිටි ,ඉන්ධන, බෙහෙත් නැති එකට අරගල කරන්න ඕන.නමුත් දේශපාලන අරමුණු වෙනුවෙන් අරගල කරන්න හොඳ නැහැ.සර්වපාක්ෂික කණ්ඩායම කියලා එකක් තියෙනවා.නිර්පාක්ෂික කියලා තවත් කණ්ඩායමක් ඉන්නවා. ගෝඨා ගෝ හොම් කියව්වට මේ අයට වෙනත් විකල්පයක් නැහැ.ගාලු මුවදොරින් ඔබ්බට කියලා තව පිරිසක්  ඉන්නවා.මේකට නායකත්වය දෙන්නේ කාදිනල් තුමා. අනෙත් පැතතෙන් ඕමල්පේ සෝභිත හිමි. ජනාධිපතිවරයාට කාබනික පොහොර වැඩසටහනට කරන්න යෝජනා කළේ  සෝභිත හිමි කියන එක රටම දන්නවා.ඊළම ඉල්ලපු ප්‍රභා එක්ක සාකච්ඡා කරපු අය තමයි අරගලයට සම්බන්ධ සමහර කණ්ඩායම් වලට නායකත්වය දෙන්නේ. මේ අය ජීවත් වෙන්නේ දෙමළ ඩයස්පෝරාවෙන්.

රණවිරුවෝ සමරන්න තියෙන  දවසේ කොටි සමරන්න ගිය උදවිය අරගල භූමියේ ඉන්නවා. අවුරුදු 09 ක් විශ්වවිද්‍යාලයේ ඉඳලත් උපාධිය ගන්න බැරිවූ අන්තරේ කැඳවුම්කරු කියනවා රණවිරුවන් සංචාරයේ යනකොට තෙල් ගහන්නේ කොහොමද කියලා.එයාගේ අධ්‍යාපන මට්ටම ඒකෙන්ම පැහැදිලියි.පාර්ලිමේන්තුව අභියසදී ගිනි අවි දෙකක් සහ  මැගසින් හතරක් පැහැර ගෙන තිබෙනවා.ජාතික ආරක්ෂාවට පැත්තෙන් මේක ඉතා භයානකයි.මේ සම්බන්ධව විශේෂ අවධානය යොමු කරන්න කියලා කියනවා.ඩලස්ට අභියෝග කරනවා කොන්දක් පණ තිබෙනවා නම් මේ ම්ලේච්ඡ ප්‍රහාරය හෙළා දකින්න කියලා. ජනපති වෙන්න සිහින දකින ඩලස් අරගලකරුවන්ට බයයි. රනිල්ගේ ඉතිහාසය අපිට වැඩක් නැහැ.නමුත් ඔහු අභියෝගය බාර ගත්තා.කැරළිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ඔහු පැවසුවා.

එක්සත් රණවිරු ප්‍රජාවේ සභාපති තේජා සමන් කුමාර මහතාද මෙහිදී කතා කළේය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.