අමරවීර කපෝති වෙයිද?

මගී ප්‍රවාහන විෂය පිළිබඳ ගෝඨාභය-මහින්ද ආණ්ඩුවේ වගකීම් භාර ඇමතිවරයා මහින්ද අමරවීර ය. ඔහු සිය අමාත්‍යංශයේ රාජකාරි භාර ගන්නා අවස්ථාවේ පැවසුවේ වඩාත් උසස් හා ගුණාත්මක මගී ප්‍රවාහන සේවාවක් මහජනතාවට ලබා දීම සඳහා කැපවෙන බවයි. බස් රථ තුළ තොරණ බැන්දා සේ පෙනෙන දෙනෙත ගිනිකණ වට්ටන විදුලි ආලෝක නිවන්නටද, බයිලා පොළවල්වල මෙන් ඉවක් බවක් නැතිව ඇසෙන ලාචෝරු තොරොම්බල් සංගීත සංදර්ශන අහවර කරන්නටද ඔහුට පුලුවන් වනු ඇතැයි බස් මගීන් සැනසුම් සුසුම් හෙළමින් සිතුවේ ඒ මුල් දින කිහිපයේ එතුමා කළ කී දෑ අනුවය. එමෙන්ම එගොඩටත් මෙගොඩටත් නැති පොල් පටවන අර්ධ සුඛෝපභෝගී මාෆියාව අහවර කරනු ඇතැයි යන අපේක්ෂාවද ජනතාවගේ සිත් තුළ පහළ විය.

කරන්න පුලුවන් දේවල්ද මේ?
නමුත් දැන් කාරණා කටයුතු සිදු වෙන අන්දමට පෙනී යන්නේ අමරවීරට ලැබී ඇත්තේ වැඩේ ගොඩ දාගන්නට බැරි අමාත්‍යංශයක් බවය. ඒ ලංකාවේ පෞද්ගලික බස් ව්‍යාපාරය යනු දේශපාලනඥයින් හෝ ඔවුන්ගේ සහය ලබන්නන් මෙහෙයවන මාෆියා ව්‍යාපාරයක් බැවිනි. සැබවින්ම පාරේ දුවන බස් රථවලට වඩා මිළෙන් වැඩි වන්නේ මාර්ග ප්‍රවාහන බලපත නැත්නම් රූට් පර්මිට් ය. එසේ මෙසේ දේශපාලන හයියක් නැතිව මේ බලපත් ලබා ගන්නට බැරිය. දැන් කතාව ඇත්තේ මෙතැනය. පාරේ දුවන්නට බස් දමා ඇති බහුතරය මෙරට මජර දේශපාලනයේ යටිබිම්ගත නහර වැල්වලට රුධිරය සපයන්නවුන්ය. කුප්‍රකට බස් ගැමුණු ආදීන් ඉන්ධන මිළ රුපියලකින් දෙකකින් ඉහළ ගිය විට මාධ්‍යය ඉදිරියට පැමිණ හයිරං පෙන්වන ආකාරයෙන්ද විද්‍යමාන වන්නේ එහි එක් පැතිකඩකි. මහින්ද රාජපක්ෂ පාලන සමයේ යම් තරමකට හිස වැල්ලේ ඔබා සිටි ඔවුන් යහපාලන නිදහස නිසා හිස එස වූ බව කියන පිරිසක්ද වේ. දැන් අමරවීරට සිදුව ඇත්තේ මේ මාෆියාව ආන්බාන් කිරීමය. එහෙත් දැනගන්නට ලැබෙන අන්දමට එය පහසු නොවේ. අර්ධ සුඛෝපභෝගී බස් ඒවාට නියමිත ප්‍රමිතියට ධාවනය නොවී අඩුම ගණනේ ආසනගත මගීන් පමණක් ප්‍රවාහනය කළ යුතු යැයි යන නියමයවත් පිළි නොගෙන පවත්වා ගෙන යද්දී ඒවා අහෝසි කර සුඛෝපභෝගී බස් සහ සාමාන්‍ය ගාස්තු බස් පමණක් පැවතිය යුතුය යන කතිකාව ඇති වූයේ අද ඊයේ නොවේ. පළමුව නිමල් සිරිපාල ද සිල්වා සහ පසුව අර්ජුන රණතුංගත් ඒ සඳහා වන නීති සම්පාදනය කොට කැබිනෙට්ටුවට ඉදිරිපත් කරන්නට උත්සාහ ගත්තත් එම ලේඛණ හමස් පෙට්ටියට ගියේය. ඒ බස් හිමියන්ගේ දේශපාලන හයිය නිසා ය. මෙවරද ගැඹුරු පතුළ බස් ගෙන ආ යුතු යැයි කියන යෝජනාවට බස් හිමියන්ගේ මනාපයක් පළ ව නැති බවත් ඔවුන් පැළැස්තර විසඳුම් යෝජනා කරමින් සිටින බවත් දැනගන්නට තිබේ.

එදා මයිනර් කාර්වලින් පාර්ලිමේන්තු ගිය පාලකයෝ ජගුවර් පැද යද්දී, එදා බෙන්ස් බස්වල ගිය ජනතාව අද ටාටා සහ ලේලන්ඩ් ලොරි චැසිවල යන තත්ත්වයට පත් වීමේ ඛේදවාචකයයි මේ. ලොරියක හරක් හත් අට දෙනෙකු පටවා ගෙන ගිය විට සත්ව හිංසනය යටතේ අල්ලා උසාවි දමන පොලීසිය මේ බස්වල කිටිකිටියේ හිර කර මිනිසුන් පටවා ගෙන යද්දී ඉවත බලා ගනී.
වැඩ කල් දැමීම විසඳුමක්ද?
ආරම්භයක් හැටියට අශිෂ්ට ගීත වාදනය කරමින් සිදුකරන කෝලාහලය නැවැත්වීම ගැන ආරම්භ වූ කතිකාව හෝ හොඳය. නමුත් අමරවීර කියූ හැටියට එය ජනවාරි පළමුවැනිදා ඉටු කරන්නට බැරි විය. එමනිසා ජනවාරි 15 වැනිදා දක්වා කාරණය කල් දැමුවේ බස් හිමිකරුවන්ටත් වඩා රියැදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට පොදු සමා කාලයක් දීමටය. නැතිනම් සූදානම් වීමටය. එහෙත් ජනවාරි 15 ගෙවී අවසන් වූවත් සිදුවූ මහ බක්කක් පෙනෙන්නට නැත. ඊට හේතුව සොයා බැලීමේ යාන්ත්‍රණයක් නැති වීමයි. මීට සමගාමීව දුර ගමන් බස් රථ මගීන්ගේ අහර කිස සඳහා නවත්වන තැන් ගැනද සොයා බැලිය යුතුය. ඒවා පවත්වා ගෙන යන අවලම්මු කුණු කෑම ඉහළ මිළ ගණන්වලට ජනයාට විකුණන්නේ බස් සේවකයින්ට නොමිළේ කෑම සහ පගාවද දෙමිනි. නිදසුනක් ලෙස කොළඹ සිට පැල්මඩුල්ල දෙසට ඇති, මේ අපා කඩ පරීක්ෂා කළහොත් ඒවායේ දුඟද හමන අපිරිසිදු මැසි ආකර වැසිකිලි කුස්සි හා යාව ඇති තැන් දැක ඔක්කාරයට එනු නියතය. පුදුමය අදාල පළාත්පාලන ආයතනවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට මේවා නොපෙනෙන්නේ ඇයිද? යන්නයි.
බසුත් හොර ජාවාරමක්.
යහපාලන ආණ්ඩුව කාලේ කොළඹ සිට මඩකලපුව කාත්තන්කුඩිය සහ යාපනය බලා දුවන මාර්ග බලපත් නැති බස් රථ නියාමනය ගැන කතා මතු විය. මේවා දෙහිවල වැල්ලවත්ත ආදී ප්‍රදේශවල හොර නැවතුම්වල රඳවා තබා රහසින් සෙනඟ පටවා ගෙන දුවන බව වාර්තා වේ. මිනිසුන් ඒවාට ඇදී යන්නේ කර්මාන්තය නියාමනය වීමේ අවුල නිසාය. ඔවුන්ට වුවමනා කෙසේ හෝ තම ගමන යන්නටය. ගැටලුව වන්නේ මෙවැනි බසයක ගොස් අනතුරකට ලක් වුවහොත් රක්ෂණ වන්දියවත් ගැනීමට නොහැකි වීමයි. ඇඹිලිපිටිය යාපනය අතර ධාවනය කළ බසයක් අනතුරට ලක්වීම නිසා එහි ගමන්ගත් ජනයාට රක්ෂණ වන්දි හිමි නොවූයේ එම බසය මාර්ග බලපත් ලබා ලියාපදිංචි නොකර තිබූ නිසාය. මොවුන් මේ සෙල්ලම් කරන්නේ මිනිස් ජීවිත සමගය. නැගෙනහිරට දුවන මෙවැනි හොර බස් බොහොමයක් අයිති දේශපාලන පසුබිමක් ඇත්තවුන්ටය. යාපනයට දුවන හොර බස් වැඩි ගණනක අයිතිය ඇත්තේ හිටපු දෙමළ ඇමතිවරියකගේ සහෝදරයාට බව අපට අසන්නට ලැබුණි. එහෙමනම් මේවා නවත්වන්නේ කොහොමද? තතු දන්නෝ අසන්නේ එම ප්‍රශ්නයයි.

ජනයා කැමති නිවෙන ගමනකටය. ආබාධිතයින් බවට පත් නොවී නිස්කාංසුවේ සුව පහසු ගමනක් යන්නටය. මහින්ද අමරවීරගේ උදාන වාක්‍යය ඇසෙනවිට බස් මගීන් වන ඔවුන් ප්‍රීති ප්‍රමෝදයට පත් වූයේ එහෙයිනි. එහෙත් විළි කන්දේ හැටියට තවම මී පැටියාවත් වැදුවේ නැති බව පෙනෙයි.
මේ මහින්ද අමරවීර යනු දූෂණ චෝදනා නැති ඇමතිවරයෙකි. ඇසුරේදී ප්‍රියමනාප අහිංසක මිනිසෙකි. ඔහු මාධ්‍යයටද ලෙංගතුය. එහෙත් අපට හිතෙන්නේ බස් සෙල්ලමෙන් නිමල් හා අර්ජුන මෙන්ම ඔහුද කපෝති වෙයිද? කියාය.
දෙතනගල සුමනපාල විසිනි