අපේ පඩිය දෙන්න බැහැ – සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය

 අපේ පඩිය දෙන්න බැහැ – සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය

“සියලූම රජයේ සේවකයන්ගේ මාසික වේතනයෙන් රටේ පවත්නා තත්වය පදනම් කරගෙන යම් මුදලක් ඉල්ලා ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ලිපියක් නිකුත් කර ඇත. ශ‍්‍රී ලංගම සේවකයින් මේ මොහොතේ පත්වී ඇති ආර්ථික අසීරුතාවය නිසාම එවැනි පරිත්‍යාගයක් සිදු කිරීමට ඔවුනට කිසිසේත්ම නොහැකිය. මේ මොහොත වන විටත් අත්‍යාවශ්‍ය සේවාවන් වල සේවකයින් ප‍්‍රවාහනය කරනු ලබන්නේ ශ‍්‍රී ලංගම සේවකයින් වුවත් ඔවුනට මුඛ ආවරණ. අත්වැසුම්, වෙනත් වෛද්‍ය පහසුකම්, දිරි දීමනා කිසිවක් විධිමත්ව අඛණ්ඩව ලැබෙන්නේ නැත. එම සේවකයන්ට අත්විය හැකි ජීවිත අවධානම පවා නොතකා ඔවුන් එම කාර්යය සිදුකරයි . රණවිරුවන් සුවවිරුවන් ගැන වර්ණනා කරන කිසිවෙකු  ලංගම විරුවන් ගැන කිසිදු ඇගයීමක් සිදු කරන්නේ නැත” යැයි ජනාධිපතිතුමන් අමතා ලිපියක් යොමු කරමින් සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය පවසයි.
 
එහි ලේකම් සේපාල ලියනගේ ගේ අත්සනින් යැවූ ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ “පී. බී. ජයසුන්දර මහතා මුදල් අමාත්‍යාංශ ලේකම් වශයෙන් ක‍්‍රියාකළ කාලයේ දී ශ‍්‍රී ලංගමයට ලබාදිය යුතු මූල්‍ය ප‍්‍රතිපාදන හිතාමතාම ලබානොදී ශ‍්‍රී ලංගමය විනාශ කිරීමට ක‍්‍රියා කළ අතර ඒකාබද්ධ කාලසටහන් ක‍්‍රමවේදය ශ‍්‍රී ලංගමය තුළ ක‍්‍රියාත්මක කර ශ‍්‍රී ලංගමයේ මළගම සිදු කිරීමට ද ක‍්‍රියාකළ පුද්ගලයෙකු බවයි. මීට අමතරව ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය විනාශ කළ ආර්ථික ඝාතකයෙකු ලෙස ආණ්ඩුවේ ඇමතිවරුන් ඔහු නම්කර ඇති බවද එම ලිපියේ සඳහන් වේ.
ශ‍්‍රී ලංගම සේවකයින් මේ මොහොතේ අත්විඳින ආර්ථික අපහසුතාවය මත ජයසුන්දර මහතාගේ පුද්ගලික ඉල්ලීම කිසිසේත්ම ඉටුකළ නොහැකි අතර පරිත්‍යාග කරන මුවාවෙන් ශ‍්‍රී ලංගම සේවකයන්ගෙන් නීතිවිරෝධී ලෙස බලහත්කාරයෙන් මුදල් අයකරගැනීමක් සිදුකළ හොත් ඊට විරුද්ධව ගතහැකි උපරිම වෘත්තීය ක‍්‍රියාමාර්ග සහ අධිකරණ ක‍්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවද සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය  සිය ලිපියෙන් අවධාරණය කරයි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *