අපි හම්බ කරලා උන්ට ඕන දේ කන අපි කතිරයේ වටිනාකම දන්නෙ නෑ – නීතීඥ නිරූපා සේරසිංහ
2020 මැතිවරණයේදී ඡන්දය භාවිතා කොට සිය නියෝජිතයන් පාර්ලිමේන්තු යැවීමට බලා සිටින ජනතාව මුලින්ම කළ යුත්තේ මින් පෙර පාර්ලිමේන්තු යැවූ පිරිස තමන්ගේ කතිරයට සාධාරණය ඉටු කළේද යන්න විමසා බැලීම බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකා නීතීඥ නිරූපා සේරසිංහ පවසයි.
” මේ රටේ බහුතරයක් මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා අපි හම්බ වෙලා අපි කන්නෙ කියන්න. හැබැයි කවුරුවත් කල්පනා කරන්නේ නෑ අපි හම්බ කරලා කන්නේ අපිට ඕන දේ නෙවෙයි එයාලට ඕන දේ කියලා. අපි හම්බ කරලා අපි කනවා කියන මතයේ ඉඳලා මේ රට වෙනස් කරන්න බැහැ. අපි හම්බ කරන්නේ අපිට ඕන ගාණ නෙවෙයි. අපිට ඕන විදියට නෙවෙයි. බස්එකේ කෝච්චියේ ගිහිල්ලා කාර්යාලයක තෙරපිලා හැන්දෑවට ආපුවම අපි හම්බකරලා තියෙන්නේ අපේ මහන්සියට සරිලන වැටුප නෙවෙයි. අපිට අපි කැමති දේ කන්න, විඳින්න විධියක් නැහැ. අපේ රුචිය වෙනුවට පාලකයාගේ මතවාද තහවුරු කරන දේ වැළඳගන්න වෙලා තියෙනවා. මෙහෙම රටක අපිට අනාගතයක් තියෙයිද?” යනුවෙන් ප්‍රශ්න කරන නීතීඥ නිරූපා සේරසිංහ පෙන්වා දෙන්නේ අද වනවිට මෙරට අධ්‍යාපනය ලැබීම පවා අත ඇති මුදල මත තීන්දු වන බවයි.

“අපේ දරුවො පාසල් ගියාට ආපහු හැන්දෑවට ටියුෂන් යවන්න වෙනවා. සල්ලි තියෙන අය විතරයි ඒ තරඟයේ පෙරමුණට එන්නෙ. ගම්බද සහ දරිද්‍ර පවුල්වල දරුවන්ට ලැබෙන අධ්‍යාපනයේ වටිනාකම අවමයි. ඇයි අපි මේවා වෙනස් නොකරන්නේ. ඒවා වෙනස් කරනවා නම් ඒ ගැන ප්‍රතිපත්ති මත පිහිටලා කටයුතු කරන මාලිමාව එක්කයි ජනතාව අත්වැල් බැඳගන්න ඕන යැයි”ද එළඹෙන මැතිවරණයේ සිය පක්ෂයේ අභිලාෂ පිළිබඳ සඳහන් තළ ඇය පෙන්වා දෙයි. “මේ රටේ හැම පුරවැසියෙක්ම ලක්ෂ හය හමාර ගාණෙ පිටරටවලට ණයයි. මේවා ගෙවනවා කියන අයගෙ පොරොන්දු අපි අවුරුදු 75ක් තිස්සෙ ඇහුවා. ඒත් පාර්ලිමේන්තු ගිය එයාලා කරගත්තෙ ලෙඩ වුණාම සිංගප්පුරු යන්න පාර කපාගන්න එක. මාසෙට ලක්ෂ දෙකහමාරක් පඩි ගන්න මන්ත්‍රීවරු මාස හයක් යද්දි ලක්ෂ 500ක වාහන පදින්නෙ කොහොමද කියලා කල්පනා කරන්නෙ නැති අපේ මිනිස්සු අනේ අපේ මන්ත්‍රීතුමාගෙ වාහනෙ ලස්සන කියලා කල්පනා කරලා සතුටු වෙනවා. ඒක තමයි වහල් මානසිකත්වය. ඇයි පුරවැසියො හැටියට අපි නිදහසේ සිතීමේ අයිතිය භාවිතා නොකරන්නෙ. ඇයි අපේ දරුවන්ට පොඩි හැන්දෙන් බෙදලා එයාලගෙ දරුවන්ට ලොකු හැන්දෙන් බෙදන එක ගැන ප්‍රශ්න නොකරන්නෙ. ඇයි අපේ දරුවො උන්ගෙ දරුවන්ගෙ පස්සෙන් ඡන්දවල කැන්වසින් යන තැනට තල්ලු කරලා දාන්නෙ”
මේ තත්ත්වය වෙනස් කරන්න නම් ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක නිරත වෙලා ඉන්න ජාතික ජන බලවේගයේ මාලිමාවට තමයි ඡන්දය දෙන්න ඕන යැයි අවධාරණය කරන නීතීඥ නිරූපා සේරසිංහ වැඩිදුරටත් පවසන්නේ, රටට ආදරේ රටට හතුරුකමක් නොකරන පිරිසක් සිය කඳවුරේ සිටින බව වටහා ගනිමින් බලය තමන් වෙත ලබාදීමට ජනතාව කටයුතු කරන්නේ නම් රටේ අනාගතය වෙනස් වන බව සහ අද සුලුතරය හෙට බහුතරය බවට පත් කර ගැනීමටද එමගින් ඉඩ සැළසෙන බවයි.