“අපි කන හැටි ලිපා දනී පඩිය ඉල්ලන්න එපා” – සංවර්ධන නිලධාරීහු කියති

ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතාගේ අත්සනින් කාර්යාල ලිපි ශීර්ෂය සහිතව ලියූ ලිපියක් යොදාගෙන රාජ්‍ය සේවකයින්ගේ මැයි මාසයේ වැටුප හෝ අඩක් පරිත්‍යාග කරන ලෙස කර ඇති පෞද්ගලික ඉල්ලීම පිළිබඳව තමන්ගේ දැඩි අප‍්‍රසාදය පළ කරන බව සංවර්ධන නිලධාරී සේවා සංගමය පවසයි. අග‍්‍රාමාත්‍ය ලේකම්, මහ බැංකු අධිපති, අමාත්‍ය මණ්ඩල ප‍්‍රධානීන් සහ දෙපාර්තමේන්තු ප‍්‍රධානීන් වෙත නීතිපති හා විගණකාධිපතිට පිටපත් ඇතිව යැවූ මෙම ලිපිය තමන්ට මහත් ගැටළුවක් බව එම සංගමය පෙන්වා දෙයි.
කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ රාජ්‍ය සේවකයින්ද විශාල අර්බුදයකට මුහුණ දී සිටී. මාර්තු හා අපේ‍්‍රල් මාසවල රාජ්‍ය සේවකයින්ට මූලික වැටුපට අමතරව අතිකාල හෝ වෙනත් දීමනා ලබා ගැනීම සඳහා ඉඩකඩ නොලැබුණි. අප්‍රේල් මස වැටුප කල්තියා ලැබීම නිසා මැයි මාසය රාජ්‍ය සේවකයින්ට ආර්ථික වශයෙන් ඉතා දුෂ්කර මාසයකි. අත්හිටුවා ඇති බැංකු ණය පොළී හා වාරික අයකර ගැනීම, විදුලි, ජල හා දුරකතන බිල්පත් ගෙවීමට සිදුවීම, මේ වන විටත් දැරීමට නොහැකි බඩුමිල ඉහළ යෑම ආදී ගැටළු ගණනාවකට මුහුණ දීම වැනි අභියෝග පිළිබඳවද සංවර්ධන නිලධාරි සේවා සංගමය සිහිපත් කරයි.
ඔවුන්ට අනුව, “වසංගත තත්වය හමුවේ රාජකාරී කිරීමට සිදු වූ අවස්ථාවේ දී ආශ‍්‍රිත සේවයට අයත් නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන් බොහෝ පිරිසකට මුව ආවරණ ඇතුළු උපකරණ පවා සිය පෞද්ගලික වියදමින් මිල දී ගෙන රාජකාරී කිරීමට සිදුවූ අතර අවම පහසුකම් පවා නොලැබුණි. මෙම වසංගත තත්වයට මුහුණදුන් ලෝකයේ බොහෝ රටවල් පීඩාවට පත් රාජ්‍ය සේවකයින්ට විශේෂ සහන ලබා දී ඇත. ඇතැම් රටවල් ජනතාවට විශේෂ පීඩනයක් එල්ල නොකර මැති ඇමතිවරුන්ගේ වරප‍්‍රසාද ඉවත් කර ගනිමින් රටේ ආර්ථිකයට සහනයක් වී ඇත” එමෙන්ම මාර්තු – අපේ‍්‍රල් දැඩි අවධානම් කාලසීමාවල් තුළ දී රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවය නියෝජනය කරන MN-04 වැටුප් පරිමාණයට අයත් උපාධිධාරීන් සිය රාජකාරී ඉටු කරනු ලැබුවේ කිසිඳු දීමනාවක් ලබා නොගනිමින් බව ද තමන් රජයට දන්වා සිටි බව ඔවුන් පවසයි. “එවැනි තත්ත්වයක් තුළ වාහන මිලදී ගැනීම්, හිටපු රාජ්‍ය ඇමතිවරු සඳහා විශේෂ වරප‍්‍රසාද, අධිවේගී මාර්ග අලූතින් ආරම්භ කිරීම, මැතිවරණයට කෝටි 800 වැනි මුදලක් වියදම් කිරීමට නියමිත වේ. සියලූ වියදම් මේ තත්වය යටතේ කළයුතු දැයි යලි සිතා බැලිය යුතුව ඇත.” යනුවෙන්ද පෙන්වා දෙන සංවර්ධන නිලධාරි සේවා සංගමය ජනාධිපති ලේකම්වරයා සිදුකර ඇති පෞද්ගලික ඉල්ලීම මේ මොහොතේ සදාචාර සම්පන්න එකක් නොවන බවද රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයේ MN-04 වැටුප් තලයට අයත් සමස්ත උපාධිධාරී නිලධාරීන් නියෝජනය කරන සිය සංගමය රාජ්‍ය සේවකයින්ගේ වැටුප් කපා ගැනීමේ සූදානමක් පවතී නම් ඊට එකඟ නොවන බවද ප්‍රකාශ කරයි.