අපයෝජකයා නිදැල්ලේ, දැරියගේ අයිතීන් රකිනු – විරෝධය හෙට (26)

 අපයෝජකයා නිදැල්ලේ, දැරියගේ අයිතීන් රකිනු – විරෝධය හෙට (26)

සමාජ මාධ්‍ය තුළ හුවමාරු වු සය හැවිරිදි දැරියක අපයෝජනය වෙන අන්දම දැක්වෙන වීඩියෝව සම්බන්ධයෙන් පොලීසිය හෝ ළමා රක්ෂණ අධිකාරිය මෙතෙක් කිසිම පියවරක් ගෙන නොමැති පසුබිමක අපයෝජකයා අත්අඩංගුවට ගන්නැයි බලකෙරෙන විරෝධතාවක් සංවිධානය වී තිබෙනවා. ඒ අනුව පෙබරවාරි 26වන දින උදේ 10ට මාදිවෙල ජාතික ළමා රක්ෂණ අධිකාරිය ඉදිරිපිට නිහඬ විරෝධතාවක් පැවැත්වෙන අතර එය සංවිධානය කරනු ලබන්නේ, අයිතීන් උදෙසා කාන්තාවෝ සහ අලුත් පියාපත් යන සංවිධානයි.

අපයෝජනයට ලක් වූ දැරිය වෙනුවෙන් පෙනී සිටින විරෝධතාකරුවන් පවසන්නේ, අදාල වීඩියෝව මේ වනවිට සමාජ මාධ්‍යයෙන් ඉවත් කොට තිබුණද පරීක්ෂණ දියත් කිරීමේදී අවශ්‍ය නම් සමාජ මාධ්‍ය සමාගම්වල සහාය ලබාගැනීමට නීති අංශවලට හැකියාව පවතින බවයි. එසේම මේ වීඩියෝව බාගත කරන ලද පිරිස් සිටින බවද වීඩියෝව නැරඹීමෙන් දැරිය හඳුනාගැනීම පහසුවෙන් කළ හැකි නිසා සැකකරු අත්අඩංගුවට ගැනීමද අපහසු නොවන බව ඔවුන්ගේ මතයයි.
අද වනවිට සමාජ මාධ්‍යයෙහි සංසරණය වන තොරතුරුවලට අනුව බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක්වූ දැරිය සහ ඇගේ මව පිළිබඳ ආරංචියක් නොමැති අතර ඔවුන් සැකකරු විසින් සඟවනු ලැබ ඇතැයිද වාර්තා වෙනවා.
සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවීම පිළිබඳ කතා කරන පිරිස් චෝදනා එල්ල කරන්නේ එක්තරා මැණික් ව්‍යාපාරිකයෙකුට. ඔහුද ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවල ජනප්‍රිය චරිතයක් වන අතර කැපී පෙනීම සඳහා යූටියුබ් විඩියෝ ඇතුළු ප්‍රචාරණ නිතර සිදු කරන අයෙක්. චෝදනා නගන පිරිසට අනුව ඔහු සිය මූල්‍ය බලය හා දේශපාලන සම්බන්ධතා මත සිද්ධිය යටපත් කිරීමට වෙර දරනවා.
ඒ අතර සුප්‍රකට මැණික් ව්‍යාපාරික ප්‍රියාන් නමැත්තා දැරිය ලිංගිකව අපයෝජනය කළේ තමන් නොවන බව සඳහන් යූටියුබ් වීඩියෝ මුදා හැර තිබුණා. එහිදී තමන් යටතේ සේවය කරන කිසියම් කාන්තාවක් සහ පුරුෂයෙක් ලවා තමන්ගේ ගුණකථන සිදුකරගන්නා සහ ඔවුන්ගේ දියණියට ව්‍යාපාරික ප්‍රියාන්ගෙන් කිසිදු අපයෝජනයක් සිදු නොවන බව සඳහන් අදහස් දැක්වීමක්ද ඔහු විසින් මුදා හැර තිබුණා. ප්‍රියාන් නමැති මැණික් ව්‍යාපාරිකයාට සහය දක්වන සමාජ මාධ්‍ය පරිශීලකයන් ඔහු නිවැරදි නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට ගැනීමක් සිදු නොවන බව පැවසෙන අදහස් අද පතුරුවා හැර තිබුණා.

ප්‍රියාන් නමැති මැණික් ව්‍යාපාරිකයාට සහය දක්වන පෝස්ටුවක්

එහෙත් ප්‍රියාන් නමැති මැණික් ව්‍යාපාරිකයා නිරවද්‍ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවබෝධ කරගෙන ඇත්තේ කෙසේද යන්න කිසිවෙකුත් අවධාරණය කර තිබුණේ නැහැ. මෙකී ප්‍රියාන් මැණික් නමැති ව්‍යාපාරිකයා මෙම ළමා අපයෝජයනයට සම්බන්ධ බව තවමත් තහවුරු වී නොමැති පසුබිමක ඔහු වැරදිකරුද, නිවැරදිකරුද යන්න තීරණය කිරීම වගකිවයුතු අංශවල කාර්යයක් වන අතර පරීක්ෂණ සිදුවිය යුත්තේ එමනිසා යන්න දැරිය වෙනුවෙන් පෙනී සිටින පාර්ශවවල අදහසයි. පසුගියදා අනාවරණය වූ දේශපාලනඥ රංජන් රාමනායක හා පියුමි හංසමාලි නමැති නළඟන අතර සිදුවූ දුරකථන සංවාදවලද මෙම ව්‍යාපාරිකයා පිළිබඳ සඳහන් වුණා.

මේ පුවතට අදාල සෑම පාර්ශවයකම පිළිතුරු දීමේ අයිතිය පිළිගන්නා ejournalist වෙබ් අඩවිය ඒවා ප්‍රචාරය කිරීමට බැඳී සිටී

ලසන්ත ද සිල්වා

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *