අනිල් ජාසිංහ හමුවට ජාතිවාදී බළලා මල්ලේ දමාගෙන ආ එ.ජා.ප හිටපු මන්ත්‍රීවරු

පසුගියදා එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂ ද සිල්වා, මයන්ත දිසානායක, එඩ්වඩ් ගුණසේකර, අශෝක අබේසිංහ, විජයමුණි සොයිසා මුජිබර් රහුමාන් ඇතුළු පිරිස සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ අතර සිදුවූ හමුවකදී කොවිඩ් වසංගතය මැඩලීමේ කටයුතුවලදී මුස්ලිම් ජනයා මුහුණ දෙන ගැටලු කිහිපයක් පිළිබඳ හිටපු මන්ත්‍රී මුජිබර් රහුමාන් අදහස් දක්වන අවස්ථාවේ ඔහු තනිකරමින් සෙසු පිරිස නැගිට ගිය බව වාර්තා වේ.
මෙම හිටපු මන්ත්‍රීවරුන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා හමුව ඇත්තේ, මේ වනවිට කොවිඩ් 19 වසංගතය මැඩලීමේ කටයුතු පිළිබඳව විස්තර විමසීම සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පනත යටතේ වන ඉල්ලීමක් භාර දීමටයි. අදාල තොරතුරු ඉල්ලීමේ ලිපිය භාරදීමෙන් අනතුරුව පවත්නා තත්ත්වය පිළිබඳ වෛද්‍ය අනිල් ජාසිංහ සහ මන්ත්‍රීවරු පිරිස අතර සුහද කතාබහක් ඇති වී තිබේ. එහිදී රජයේ කොවිඩ් මර්ධන වැඩපිළිවෙල පිළිබඳ හිටපු මන්ත්‍රීවරුන් සිය අදහස් පළ කිරීම සිදුකර ඇති අතර මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා උත්සාහ කර ඇත්තේ මුස්ලිම් ජනයා අතර මේ වනවිට බරපතල ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය කර ඇති මරණ භුමදාන කිරීම වෙනුවට ආදාහනය කිරීමට සිදුව ඇති වාතාවරණය ගැන කරුණු විමසීමටයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇති නිර්දේශවල ආදාහනය අනිවාර්ය කර නැති බව පෙන්වා දී ඇති මන්ත්‍රීවරයා මහාචාර්ය ජමාල්ඩීන්, මහාචාර්ය රිස්වි ෂෙරීප් වැනි වෛද්‍යවරුන් සෞඛ්‍ය බලධාරීන් හමුවේ කරුණු දක්වා ඇති බවද පවසා තිබේ.
එසේ තිබියදී මුස්ලිම් ජනයා දැඩි පාපයක් ලෙස කල්පනා කරන දේහ ආදාහනයට මෙලෙස යොමුවීමට ඔවුන්ට සිදුව ඇත්තේ සෞඛ්‍යමය නොවන බලපෑමක් නිසාද යන්න මන්ත්‍රීවරයා විමසා ඇත. කෙසේවෙතත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් අතර ඒ සම්බන්ධ සංවාදය ගොඩනැගීමට පෙර ඔහු කැටුව ගිය සෙසු මන්ත්‍රීවරුන් පිරිස එම ස්ථානයෙන් පිටත්ව යෑම සඳහා අසුන්වලින් නැගිට ඇත. සාමූහිකව පැමිණි පක්ෂයේ සගයන් එකම මතය නොදැරුවත් තමන්ගේ ජන වර්ගයට සංවේදී ගැටලුවක් සාකච්ඡා කරන අවස්ථාවේ මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා තනිකර අසංවේදීව පිටව යෑම ඔවුන්ට සමීප පාක්ෂිකයන්ගේ අප්‍රසාදයට හේතු වී ඇත. ඒ සම්බන්ධව දෙමළ බසින් හුවමාරු වන සමාජ මාධ්‍ය පණිවිඩවල අදාල මන්ත්‍රී පිරිස මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා තනිකර නැගිට යෑම කනගාටුදායක බව සඳහන් වේ.
පසුගිය ජනාධිපතිවරණයේදී මුස්ලිම් ඡන්දදායකයන් බහුතරය සිය අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය දක්වා තිබියදී මෙම මන්ත්‍රීවරුන් මෙසේ කටයුතු කිරීම ඔවුන්ගේ සැබෑ ස්වරූපය පෙන්නුම් කිරීමක් බවද ජාතිවාදී බළලා මෙතෙක් මල්ලක දමාගෙන සිටි බවද හැඟවෙන අදහස් ඇතමුන් අතර හුවමාරු වී තිබුණි. ඒවායෙහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ එ.ජා.ප ය වැනි පක්ෂයක නියෝජිතයන් මෙසේ හැසිරීම කනගාටුදායක බවයි.
මන්ත්‍රී මුජිබර් රහුමාන් අදහස් දක්වන විට සෙසු හිටපු මන්ත්‍රීවරු නැගිට ගිය අන්දම දැක්වෙන වීඩියෝව.