අන්තර් පළාත් බස් ධාවනය හෙට සිට තහනම්

අන්තර් පළාත් බස් රථ ධාවනය හෙට (27) සිට නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට තීරණය කළ බව ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිළුම් අමුණුගම මහතා පවසයි. පළාත් තුළද බස් රථ ධාවනය කළ යුත්තේ මගීන් 25 ක සීමාවට යටත්ව දැඩි සෞඛ්‍යාරක්ෂිත පියවර යටතේ බවත් එම උපදෙස් නොපිළිගනිමින් ධාවනය කෙරෙන පෞද්ගලික බස්රථ වල මාර්ග ධාවන බලපත්‍ර අවලංගු කරන බවත් ඒ මහතා කීය. ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමඟ පොදු ප්‍රවාහන කටයුතු ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් රජය ගත් තීන්දු තීරණ සම්බන්ධව දැනුම්වත් කිරීමට ඊයේ (25) මහනුවරදී පැවැති මාධ්‍ය හමුවකදී අමුණුගම මහතා මේ බව ප්‍රකාශ කළේය. මෙම තීන්දු තීරණ පිළිබඳව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා පළාත් නවයේ ප්‍රවාහන අධිකාරිවල සභාපතිවරුන් වෙත දැනුම් දී ඇත.
කොරෝනා වෛරස් ව්‍යාප්තියත් සමඟ පොදු ප්‍රවාහන කටයුතු ඒ අයුරින්ම පවත්වාගෙන යෑම විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන බවත් අත්‍යවශ්‍ය රාජකාරී හා සෙසු විශේෂ අවශ්‍යතා වෙනුවෙන් ලංගම බස් රථ 5000 ක් ධාවනයේ යෙදවීමට පියවර ගෙන තිබෙන බවත් ඇමති දිළුම් අමුණුගම කීය. පෞද්ගලික බස් රථ පසුගිය දිනවල මගීන් 25 සීමාව ගරු නොකරමින් ධාවනය කෙරෙන තත්ත්වයක් දක්නට ලැබුණු බවත් කී ඒ මහතා හෙට (27) සිට එවැන්නක් සිදුවීමට ඉඩ නොතබන බවද අවධාරණය කළේය.
බස් ධාවනය ආරම්භ වීමත් සමඟ අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන්වල යෙදෙන විශාල පිරිසක් බස් රථවල ගමන් කිරීමට පටන් ගත් බවත් මේ නිසා වෛරස් පාලනය කිරීමට රජය ගෙනගිය වැඩපිළිවෙළට විශාල බාධා එල්ලවූ බවත් ඇමැතිවරයා පැවසුවේය. මගීන් 25 ක සීමාවට යටත්ව බස් රථ ධාවනය කිරීමේදී රියදුරු කොන්දොස්තර වැටුප් ගෙවා ඩීසල් මිල අයින් කළ පසු බස් හිමියන්ට පාඩුවක් මිස ලාභයක් නොලැබෙන බව රජය දන්නා බවත් මේ අවස්ථාවේ සේවයක් ලෙස බස් ධාවනය කරන ලෙස ඉල්ලා සිටින්නේ ඒ නිසා බවත් කී අමුණුගම මහතා ඕනෑම අයෙකුට බස් ධාවනයෙන් ඉවත්ව සිටීමේ අයිතියක් තිබෙන බවද අවධාරණය කළේය. බස් රථ ධාවනය නොකළා යැයි කියා කිසිදු පෞද්ගලික බස් හිමියෙකුට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවත් බස් රථ ධාවනය කළ නොකළ සියලු දෙනාට මාස හයක ලීසිං සහනය මේ වනවිටත් ලබාදී තිබෙන බවත් ඒ මහතා කීය.