අනවශ්‍ය ප්‍රවර්ධන පණිවිඩ එපා, TRCSL කියයි.

ජංගම දුරකථන පාරිභෝගිකයින් ඉල්ලා නොසිටින ප්‍රවර්ධන පණිවිඩ හා දැන්වීම් ඔවුන් වෙත නොයවන මෙන් විදුලි සංදේශ නියාමන කොමිසම දුරකථන සමාගම්වලට දන්වා තිබේ. එසේම මේ වනවිට එවැනි අනවශ්‍ය පණිවිඩ ලැබෙන දුරකථන පාරිභෝගිකයින්ට ඒවා ඉවත්කර ගැනීම සඳහා මෘදුකාංග පහසුකම් සපයන මෙන්ද දැනුම් දී තිබේ. එම සේවාව ලබා දිය යුතු වන්නේ නොමිලයේ ය.
මෑත කාලය වනවිට සෑම ජංගම දුරකථන සේවා සපයන සමාගමකටම එල්ල වූ පොදු චෝදනාව වූයේ ඔවුන් සිය පාරිභෝගිකයින්ගේ දුරකථන අංක තෙවන පාර්ශවවලට සපයන බවයි. එසේ එම අංකවලට තෙවන පාර්ශවවල වෙළඳ දැන්වීම් එවීම සමාගම්වලට ආදායම් මාර්ගයක් වුවත් දුරකතන හිමියන්ට කරදරයකි. ඇතැම් විටෙක දුරකථනය නාද වී පිළිතුරු දීමට ආමන්ත්‍රණය කළ විට ඇසෙන්නේ ජ්‍යොතිශ පණිවිඩ හෝ අවර ගණයේ විහිළුය. දුරකථන සමාගම්වල පාරිභෝගික සේවා අමතා ඒවා ඉවත් කරන්නැයි ඉල්ලා සිටියද බොහෝවිට පලක් නොවේ. ඇතැම් සමාගම් මෙම පණිවිඩ එවීම සඳහා පාරිභෝගිකයාගෙන් මාසිකව මුදලක්ද අය කරයි. කරුණු නොදන්නා පාරිභෝගිකයින්ද නොදැනුවත්ව එවැනි සේවාවන් සක්‍රිය කරයි.
තිසුල බණ්ඩාර