අධිකරණ කටයුතු මාධ්‍යයෙන් වාර්තා කිරීම නැවතිය නොහැකියි – ඉන්දීය උපරිමාධිකරණයෙන් ඓතිහාසික ප්‍රකාශයක්

පොදු වැදගත්කම අධිකරණ විනිශ්චයන්ට පමණක් සීමා නොවේ. මදුරාසි මහාධිකරණ තීන්දුවට එරෙහි අභියාචනා විභාගයේදී විනිසුරු මඩුල්ල ඉන්දීය මැතිවරණ කොමිසමට කියයි. 

අධිකරණ කාර්යයන්හිදී විනිසුරුවරුන් විසින් කරනු ලබන වාචික කරුණු දැක්වීම මාධ්‍යයෙහි වාර්තා කිරීම නවතාලිය නොහැක. මේ කරුණු දැක්වීම් පිළිබඳ අවංක සහ සමස්ත වාර්තාකරණය තමන් මුහුණ දෙන අර්බුද විසඳාලීම සඳහා විනිසුරන් අවංකව මැදිහත් වන්නේද යන හැඟීම මහජනයා තුළ වර්ධනය කරන බව සඳුදා ඉන්දීය මැතිවරණ කොමිසමට වේදනා ගෙන දෙමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය පැවසීය.

මදුරාසි මහාධිකරණය කර තිබූ වාචික ප්‍රකාශ කිහිපයක් පිළිබඳව ඉන්දීය මැතිවරණ කොමිසම එරට උපරිමාධිකරණයට පැමිණිළි කර තිබුණි.  මදුරාසි මහාධිකරණය, කොවිඩ් අධි අවදානම් සමයෙක පාලනයකින් තොරව මැතිවරණ රැලි ප්‍රචාරණ කටයුතු පැවැත්වීමට ඉඩ දීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට චෝදනා එල්ල කර තිබුණි. මැතිවරණ නිලධාරීන්ගේ පිටට තට්ටු කිරීම වෙනුවට ඔවුන්ට මිනීමැරුම් චෝදනා එල්ල කළ යුතු බව මහාධිකරණ විනිසුරුවරයා පවසා තිබුණි.

ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය ඉන්දීය මැතිවරණ කොමිසම   ඉල්ලා සිටියේ සිය නිළධාරීන් මිනී මැරුම් චෝදනාවල චූදිතයන් විය යුතු ය යනුවෙන්  මදුරාසි මහාධීකරණ විනිසුරුතුමන් කළ ප්‍රකාශ මාධ්‍යයෙහි පළ වීම වළක්වන ලෙසයි. නමුත් අප්‍රේල් 30 වන දින එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය පැවසුවේ තවත් බරපතල ගැටලු ඇති බවයි.

“මේ ප්‍රකාශ වාර්තා කරන්න එපා කියලා මාධ්‍යයට කියන්න අපිට බැහැ. වාචික නිරීක්ෂණ වාර්තා කිරීම තීන්දු වාර්තා කිරීම තරම්ම වැදගත්. යුක්තිය ඉටු කිරීමේ චින්තාවන් විවර කිරීමේ ක්‍රියාවලිය දැනගැනීමට මහජනයාට අයිතියක් තිබේය යනුවෙන් මැතිවරණ කොමිසම වෙනුවෙන් ඉදිරිපත්ව සිටි නීතිවේදියාට මහාධිකරණ විනිසුරු ඩී. වයි. චන්ද්‍රචූද් පැවසුවේ ය.

විනිසුරු චන්ද්‍රචූද් අනුමත කරමින් විනිසුරු එම්. ආර් ෂාහ් විස්තර කළේ මාධ්‍ය යනු බලගතු මුරපල්ලෙක් බවයි.

“මහජන උනන්දුව අධිකරණයේ තීන්දුවලට සීමා වන්නේ නැත. එලෙසම අධිකරණ කටයුතුවලදී ප්‍රශ්න ඇසීම, නීතීඥවරුන් සහ විනිසුරුවන් අතර සිදු වන කතාබහ යන මේ සියල්ල මහජනයා දැකගත යුතු වන්නේ, විනිසුරන් අව්‍යාජ ලෙස යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට අවතීර්ණ ව ඇතිදැයි යන්න දැනගැනීම සඳහා ය. මම නීතිවේදියෙක් වුණා නම් විනිසුරන් මගෙන් ප්‍රශ්න නොඇසීම ගැන මහත් සේ කම්පා වෙනවා” යැයි විනිසුරු චන්ද්‍රචූද් ප්‍රකාශ කළේය.

විනිසුරු අදහස් දැක්වීම් මාධ්‍යයේ පළ වීම වළක්වන මෙන් කළ ඉන්දීය මැතිවරණ කොමිසමේ ඉල්ලීම හුදෙක් දුර දිග නොබලා කරන ලද්දක් බවද අධිකරණය පැවසීය.

අධිකරණ තුළ කරන ලද සාකච්ඡාවන්හී අන්තර්ගතය වාර්තා නොකරන මෙන් මාධ්‍යයට පැවසීමට අපට නුපුළුවන. අධිකරණය තුළ කරන ලද සාකච්ඡා මහජනයාගේ උනන්දුවට හේතු වන අතර මම එය අවසානාත්මක නියෝගයට එකතු කරමි. අපේ අපේක්ෂාව මාධ්‍ය අධිකරණයේ සිදු වන සමස්ත වාර්තා කරනු දැකීමයි. එය වගවීම පිළිබඳ හැඟීමක් ගෙන දෙයි. අපි අපේ සේවාවන් හරිහැටි සිදු කරන බවත් මාධ්‍ය සිය වාර්තා මගින් පෙන්වා දිය යුතුයි” යනුවෙන්ද විනිසුරු චන්ද්‍රචූද් පෙන්වා දුන්නේ ය.

මැතිවරණ කොමිසම වැනි තවත් ව්‍යවස්ථාපිත ආයතනයක් මිනීමැරුම් චෝදනා ලැබිය යුතු යැයි පැවසීම විනිසුරු විසින් නොකළ යුතු යැයි කොමිසම වෙනුවෙන් ඉදිරිපත් වූ නීතීඥයා පැවසූ විට විනිසුරු චන්ද්‍රචූද් පැවසුවේ විනිසුරන්ද මනුෂ්‍යයන් බවයි.  එවැනි ප්‍රකාශ සිත් කළකිරීම් ඇති කරවන සුළු වුවද ඒවා විශාල වශයෙන් මහජන යහපතට හේතු වේ.

“මහාධිකරණ අධෛර්යමත් කිරීමට අපිට වුවමනා නැත. ඒවා යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ වැදගත් කුළුණු වේ. මහාධිකරණ විනිසුරන් උත්කෘෂ්ඨ කාර්යභාරයක් සිදු කරයි.  මහ පොළවේ ඇත්තටම සිදුවන්නේ කුමක්ද යන්න ඔවුහු දනිති” යනුවෙන්ද විනිසුරු චන්ද්‍රචූද් පැවසුවේය. විනිසුරු ෂාහ් පෙන්වා දුන්නේ, විනිසුරන්ගේ වාචික ප්‍රකාශ සැබෑ අර්ථයෙන් වටහා ගැනීමට මැතිවරණ කොමිසම සමත් විය යුතු බවයි. විනිසුරන් නඩු අසන විට පෙර සකස් කළ පිටපතකට අනුව හැසිරෙන්නේ නැත.

“සමහර වෙලාවට ඔවුන් කළකිරෙයි. සමහර වෙලාවට ඔවුන් කෝපයට පත් වෙයි. ඔබ එහි සැබෑ අරුත වටහා ගත යුතුයි. ඔවුන්ද මානුෂික හැඟීම්වලින් යුක්තයි. විනිසුරුවරු දෙදෙනාම පැවසූහ.

“එනමුත් මැතිවරණ කොමිසම මිනීමැරුම් චෝදනා ලැබිය යුතු බව අධිකරණය පැවසුවා” යැයි කොමිසමේ නීතිවේදියා යළිත් පැවසීය.

“එය නිදහසේ ගලා ගිය සංවාදයක්. අපි මැතිවරණ කොමිසමට ගරු කරනවා. එය වෙන විදියකට ගන්න එපා. අන්තිමේදී ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන්නේ ආයතන කෙරෙහි පවතින විශ්වාසය මත නිසා මෙය මදිපුංචිකමක් ලෙස සළකන්න එපා. මැතිවරණ කොමිසම වැදගත් කුළුණක්. නමුත් සංවාදවලදී සමහර දේවල් කියන්න වෙනවා” යැයි විනිසුරුවරුන් විස්තර කළේය.

මදුරාසි මහාධිකරණයේදී සිදු වූ දෙය සංවාදයක් ලෙස සැළකීමට අපහසු බව මැතිවරණ කොමිසමේ නීතිවේදියා තර්ක කළේය.

එහිදී මැතිවරණ කොමිසම අස්වසමින් විනිසුරු චන්ද්‍රචූද් පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණය සමබර තීන්දුවක් ලියන බවයි.

“කෙසේවෙතත් අප මහාධිකරණවල පාරිශුද්ධ බවත් රැකගත යුතුයි. ඒවාට ප්‍රශ්න ඇසීමේ නිදහස තිබෙන අතර අධිකරණයේ ඇත්තටම සිදුවන සමස්තය වාර්තා කරනු ඇතැයි අපි මාධ්‍යයෙන් බලාපොරොත්තු වෙනවා. වගවීමට හේතු වන්නේ එයයි.” විනිසුරුවරයා පැහැදිලි කළේය.

ඉන්දීය උපරිමාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමෙන් එරට මැතිවරණ කොමිසම කියා සිටියේ මදුරාසි මහාධිකරණයේ වාචික ප්‍රකාශ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට හා මැතිවරණ ක්‍රියාවලියට බලපාන අතර ඒ කෙරෙහි වන මහජන විශ්වාසය අඩු කිරීමට හේතු වනු ඇතිය යන්නයි. කොමිසම කියා සිටියේ අදාල ප්‍රකාශ අපකීර්තිමත් හා නින්දා සහගත බවයි.

ලසන්ත ද සිල්වා

 

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *