අධ්‍යාපනය විකිණීමේ පියවරක් ලෙස පුද්ගලික පාසල් ගුරුවරු විභාග ඇගයීමට – ලංකා ගුරු සේවා සංගමය
පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල්වල ගුරුවරුන් ජාතික ඇගයීම් ක‍්‍රියාවලියට කැඳවීම ආණ්ඩුව අධ්‍යාපනය පෞද්ගලීකරණයට තැබූ තවත් ඉදිරි පියවරක් බව ලංකා ගුරු සේවා සංගමය පවසයි.
එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පවසන්නේ විශේෂයෙන් මෙම පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල්වලට ගුරුවරුන් බඳවා ගැනීම් සම්බන්ධව අඩුම තරමේ නියාමනයක් හෝ විධිමත් අධීක්ෂණයක් සිදු නොකරන අධ්‍යාපන අමාත්‍යංශය මෙවැනි තීරණවලට එළඹීමත්, විභාග කොමසාරිස්වරයා ලවා මාධ්‍ය මගින් අදාල ගුරුවරුන් පිළිබඳව සහතික නිකුත් කිරීමත් තුළින් අධ්‍යාපන පෞද්ගලීකරණයට ආණ්ඩුවේ ඇති පටු උවමනාව රටට නිරාවරණය වී ඇති බවයි. “මෙය එදා විපක්ෂය නියෝජනය කරමින් සයිටම් ගැටළුවේදී අධ්‍යාපන පෞද්ගලීකරණයට එරෙහිව සිදුකල ප‍්‍රකාශ අද කණපිට හරවමින් ආණ්ඩුව තම රෙදි මහ දවල් උනා දැමූ තවත් එක් අවස්ථාවක් ලෙස පෙන්වා දීම නිවැරදි යැ”යි ද ඔහු පවසයි.
අපොස උසස් පෙළ, අපොස සාමාන්‍ය පෙළ, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය යන ජාතික මට්ටමින් පැවැත්වෙන විභාගවල උත්තර පත‍්‍ර ඇගයීම් සඳහා රජයේ ගුරුවරුන් කැඳවීමේදී විභාග දෙපාර්තමේන්තුව රජයේ ගුරුවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම්, ඉගැන්වීමේ පළපුරුද්ද මෙන්ම ඇගයීම් සඳහා වන පළපුරුද්ද විධිමත්ව සොයා බැලීමක් සිදු කරන අතර ඒ සඳහා සුදුසුකම් ලත් විශාල ගුරුවරුන් පිරිසක් අදාළ අවස්ථාව අහිමිව සිටින බවද විභාග කොමසාරිස්වරයා ඇතුළු අධ්‍යාපන අමාත්‍යංශය හොඳින් දන්නා කරුණකි. එවන් පසුබිමක කිසිදු පදනමකින් තොරව පෞද්ගලික පාසල් ගුරුවරුන් ජාතික ඇගයීම් සඳහා සහභාගි කර ගැනීම සැබෑ අවශ්‍යතාවයක් මත නොව අධ්‍යාපන පෞද්ගලීකරණයට ගනුලැබූ තවත් ඉදිරි පියවරක් මිස අන් යමක් නොවන බව ද ඉතා පැහැදිලි කරුණකි. යනුවෙන් පවසන ලංකා ගුරු සේවා සංගමය වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම තීරණය වහා හකුලා නොගන්නේ නම් සියලූම ගුරු සංගම් ඒකාබද්ධව වෘත්තීය ක‍්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට මොහොතකට හෝ පසුබට නොවන බවයි.