අකුරණට දැඩි ආරක්ෂාව

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රථම කොරෝනා රෝගියා පෙරේදා (28) මහනුවර අකුරණ තෙළඹුගහවත්ත ප්‍රදේශයෙන් වාර්තාවූ බව මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි. මහනුවර ජාතික රෝහලට 28 දින පෙරවරුවේ ඇතුළත්ව ප්‍රතිකාර ලබාගෙන තිබෙන මෙම පුද්ගලයාට කොවීඩ්-19 වෛරසය ඇතුළත්ව තිබෙන බව එදින පස්වරුවේ තහවුරුවූ බවත් පසුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා අංගොඩ අයි.ඩී.එච් රෝහලට මාරුකර යැවූ බවත් ඒ මහතා කීය. එම පුද්ගලයාගේ බිරිඳ හා දරුවන් දෙදෙනාට වෛරසය ආසාදනය වී තිබේද යන්න පිළිබඳව සොයා බැලීම පිණිස ඔවුන් මහනුවර ජාතික රෝහලට යොමුකර ඇත.
මෙම පුද්ගලයා ඉන්දියාවේ සංචාරයක නිරතව මාර්තු මස 15 දින මෙරටට පැමිණ තිබෙන බව පරීක්ෂණ මගින් හෙළිවී තිබේ.විදේශ ගතව සිට පැමිණි පුද්ගලයින් ළඟම පොලිස් ස්ථානයට ගොස් ලියාපදිංචි වන ලෙස දැනුම් දී තිබියදී මෙම පුද්ගලයා එය කඩකරමින් ලියාපදිංචි නොවී වගකීම් විරහිතව ක්‍රියාකර තිබෙන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුණ තිලකරත්න මහතා පවසයි. අකුරණ නගරයට දැඩි ආරක්ෂක රැකවල් යොදා තිබෙන අතර මුළු ප්‍රදේශයම විසබීජ හරණය කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.
