අකාලික පිළිබිඹුව

දොම්නස් වලා පසුබිමෙක
ඉදු කයින් ගුවනට පිවිසි
හෝරා කුලුන ඉපැරණි
වේලාව අඟවමින් වුව
ඒ හා නො ම ඇලී
සඳ තාරකා හා
පිළිසඳරට එළැඹි
සන්සුන් පැවතුමකි
අතීතෙන් මිදෙමින්
අනාගතයට පනින
කටු තුනක ගමනෙහි නො බැඳී
උදා වූ නිමේෂය හා
නතර වූ බඳු
මුහුණකි එහි
පහළ මහ වීදිවල
හඬමින් ගලා යන
ජන ගඟින් එසැවුණු,
හෝරා ටැඹ අහස් පහසෙහි
දැන් මෙතැන
මේ ඇසිල්ලට අයිති
අනන්ත වූ ජීවිතයා ගේ
රුව අඟවා ද
රහසිනි
-නන්දන වීරසිංහ-