අංගොඩ ලොක්කාගෙ පැත්ත ගත් මුල්ලේරියා ලොක්කාගේ ක්‍රියා කලාපය හෙළා දැකීමට නිදහස් මාධ්‍ය ව්‍යාපාරයත් එක්වෙයි.
ලංකාදීප පුවත්පතෙහි අධිකරණ වාර්තාකාරණිය තමන්ට අංගොඩ ලොක්කා නමැති පාතාල අපරාධකරුගෙන් එල්ල ව ඇති ජීවිත තර්ජන සම්බන්ධව පැමිණිළි කිරීමට මුල්ලේරියාව පොලීසිය වෙත ගිය අවස්ථාවේ එහි ස්ථානාධිපතිවරයා අවමන් සහගතව සැළකීම සම්බන්ධව ඇය විසින් පැමිණිල්ලක් ගොනු කොට තිබේ. මෙය වෘත්තීය මාධ්‍යවෙිදිනියක සම්බන්ධයෙන් පොලීසියේ ප්‍රතිචාරය ඉතාමත් පිළිකුල් සහගත තත්ත්වයකට පත් වූ අවස්ථාවක් ලෙස සළකමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කොට තිබේ. එහි කැඳවුම්කරු සී. දොඩාවත්ත සහ ලේකම් ලසන්ත ද සිල්වාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ වින්දිතයන් ආරක්ෂා කිරීමට අදාලව පවත්නා ප්‍රතිපාදන යටතේ පැමිණිළි කිරීමට ගිය ඇයට දැක්වූ ප්‍රතිචාරය මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිව යුතු ආයතනයක පිරිහීම පෙන්නුම් කරන බවයි.
පහත දැක්වෙන්නේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිකුත් කළ නිවේදනයයි.
මාධ්‍ය නිවේදනය
වෘත්තීය මාධ්‍යවේදීන්ට අවමන් සහගත ලෙස සැලකීම හෙළා දකිමු- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
ලංකාදීප පුවත්පතේ අධිකරණ වාර්තාකාරණිය ලෙස කටයුතු කරන වෘත්තීය මාධ්‍යවේදීනි නිමන්ති රණසිංහට මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපති විසින් කරන ලදැයි කියන අවමන් සහගත සැලකීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය තරයේ හෙළා දකියි.
අප වෙත වාර්තා වන අන්දමට නිමන්ති රණසිංහ සිය වෘත්තීය කටයුත්තක් පාදක කොට ගෙන එල්ල වි ඇති තර්ජනයක් සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලිස් ස්ථානයට පැමිණිලි කිරීමට ගිය අවස්ථාවේදී එම පැමිණිල්ල බාර ගෙන අවශ්‍ය කටයුතු කර නොමැත.ඇය මෙම පැමිණිල්ල කරනු ලබන්නේ වින්දිතයන් ආරක්ෂා කර ගැනීමේ ඒකකයේ උපදෙස් මත වගකීමකින් බව පොලිස් ස්ථානාධිපතිවරයාට පැහැදිලි කිරීමට උත්සාහ දරා තිබේ. ඒ කිසිවකට කන් නොදුන් පොලිස් ස්ථානධිපතිවරයා ඇය ගේ ආත්ම ගෞරවයට හා ජිවිතයට ද තර්ජනයක් වන පරිදි හැසිරි තිබේ. මෙහි ප්‍රතිඵළයක් වශයෙන් නිමන්ති රණසිංහට නුගේගොඩ පොලිස් අධිකාරි කොට්ඨාශය භාර පොලිස් අධිකාරිවරයාට ද මුල්ලේරියා පොලිස් ස්ථානාධිපතිවරයට විරුද්ධව පැමිණිල්ලක් කිරීමට සිදු වි තිබේ.
මෙම සිදුවීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සලකන්නේ පුරවැසියන් ගේ ආරක්ෂාව සහතික කිරීමේ වගකීම දරන, රාජ්‍ය ආයතනයක් විසින් සිදු කරන ලද වගකීම් විරහිත ක්‍රියාවක් වශයෙනි. පුරවැසියන්ට සත්‍ය වාර්තා කිරීමේ වගකීම දරණ වෘත්තීය මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් මෙලෙස ක්‍රියා කිරීම අශිෂ්ට පුර්වාදර්ශ සැපයීමක් ලෙස සලකන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මෙම සිදුවීම සම්බන්ධයෙන් වහාම අපක්ෂපාත පරික්ෂණයක් කොට වැරදිකරුවන්ට නිසි දඩුවම් ලබා දෙන මෙන් සියළු වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටි.